Temples of Sri Lanka

සතර අපායෙන් සදහටම මිදෙමු..

අපි සෑම කෙනෙක් ම අපේ ජීවිත වඩාත් සාර්ථක ව, ප්‍රීතිමත් ව ගත කරන්නට කැමැත්තෙමු. ඒ සඳහා අපි බොහෝ සෙයින් වෙහෙස මහන්සි වන්නෙමු. විටෙක සතුටින් යුතු ව ද විටෙක දුකෙන් යුතු ව ද ජීවිතය පවත්වාගෙන යාමට විවිධ දෑ කරන්නෙමු.

ඒ අතරතුර තමන්ගේ සතුට, ආශාව වෙනුවෙන් යහපත් – අයහපත්, කළ යුතු – නොකළ යුතු ආදී වශයෙන් භේදයකින් තොරව ඕනෑම දෙයක් කරන්නට පසුබට නොවන අවස්ථාවන් ද නැතුවා නො වේ.

තමන් කරන කියනා අයහපත් දෙයින් පසුවට විඳින්නට සිදුවන අයහපත් විපාක පිළිබඳවත්, තමන්ට ලැබී ඇති මේ මනුෂ්‍ය ජීවිතයේ ඇති අස්ථිර භාවය ගැනත්, මරණින් මතු පරලොව ජීවිතය ගැනත් අප දක්වා ඇත්තේ කෙතරම් නම් අවම වූ සැලකිල්ලක් ද?

මෙසේ ජීවිතයේ යථා ස්වභාවය ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට උනන්දුවක් නොමැති, ඒ සඳහා වෙහෙසක් මහන්සියක් නොගන්නා අයෙකුගේ ජීවිතය භයානක වූ අඳුරු සෙවණැල්ලකින් වැසී යන්නේ ඔහුටවත් සොයාගත නොහැකි පරිද්දෙනි.

සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයන්ගේ ජීවිත පැවැත්මේ යථා ස්වභාවය මැනවින් දන්නා සේක.

තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව යළි මිනිසුන් අතර උපදිත් නම් ඒ ඉතා ම අල්පයක් බවයි.

බොහෝ සත්වයෝ මිනිස් ලොවින් චුතව නිරයෙහිත්, තිරිසන් යෝනියේත්, ප්‍රේත ලෝකයෙහිත් උපදින බවයි. මෙසේ මේ සත්වයාට භයානක වූ සසර ගමනක් පවතින බව මැනවින් වදාළේ ලෝකස්වාමී වූ අපගේ බුදුරජාණන් වහන්සේ ම ය. අතිශය භයානක වූ ඉරණමකට පත් වීමේ අවදානමක් සහිත මනුෂ්‍යයාට එයින් නිදහස් විය හැකි මාර්ගය පෙන්වා වදාළේ ද අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය.

ඒ අසහාය වූ, විස්මිත අවබෝධයෙන් යුක්ත වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරම පාරිශුද්ධ ධර්මයෙහි උපකාරයෙන් යමෙකුට සතර අපායෙන් නිදහස් වීමේ අවස්ථාව තම ජීවිතයට උදාකර ගත හැකි වුවහොත් එය කෙතරම් නම් භාග්‍යයක් ද? සැබැවින් ම පුණ්‍යවන්ත වූ සත්පුරුෂයන්ට බුද්ධ ශාසනයක් මුණගැසුණ විට ඒ වාසනාව උදාකරගත හැක්කේ ම ය.

මව් කිරිල්ලියගේ උණුසුමින් වැඩෙන්නා වූ බිජුවක් පරිද්දෙන් උතුම් බුදු සසුනේ උණුසුම ලබනා සටකපට මායා නොමැති ශ්‍රාවකයා ගුණදමින් වැඩි වැඩී පරතෙරට ම යන්නේ ය. එබැවින් යමෙකුට බුද්ධ ශාසනයක් මුණගැසීම යනු පුදුමාකාර වූ වාසනාවකි.

සියලු කෙලෙසුන්ගෙන් සදහට ම නිදහස් වූ, යළි උපතක් නොමැතිව පිරිනිවනට වඩින රහතන් වහන්සේලා ද යළි කාම ලෝකයට නොපැමිණ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන්හි ඉපිද එහි දී පිරිනිවන් පානා අනාගාමී ශ්‍රාවකයන් ද එක් වරක් පමණක් කාම ලෝකයට පැමිණ නිවන කරා ගමන් කරන සකදාගාමී ශ්‍රාවකයන් ද කොතරම් පමා වුව ද උපරිම වශයෙන් ආත්මභාව 7ක් ඇතුළත නිවන් අවබෝධ කරනා සෝතාපන්න ශ්‍රාවකයන් ද බිහිවන්නේ බුදු සසුනක් තුළ දී ම පමණකි.

ආරම්භක කෙළවරක් දැකිය නොහැකි දීර්ඝ සසරක වල්මත් ව ඇවිද එන අපට උතුම් රහතන් වහන්සේනමක් බවට පත් වීම, අනාගාමී ශ්‍රාවකයෙකු බවට පත් වීම සකදාගාමී ශ්‍රාවකයෙකු බවට පත් වීම ආදිය තබා බුදු සසුනේ පිහිට පිළිසරණ ලද. සතර අපායෙන් සදහට ම නිදහස් වූ, ආත්මභාව 7ක් ඇතුළත නියත වශයෙන් ම නිවන කරා ගමන් කරන සෝතාපන්න ශ්‍රාවකයෙකු බවට පත් වීම යන්න ද විස්මිත වූත්, අද්භූත වූත් සිදුවීමකි.

එවන් අසිරිමත් වාසනාවකට උරුමකම් කියන්නා වූ සෝතාපන්න ශ්‍රාවකයෙකු බිහිකරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ දහම් වැඩපිළිවෙළ තුළින් ම පමණකි. සෝතාපන්න ශ්‍රාවකයෙකු බිහිකරන්නා වූ වැඩපිළිවෙළ ඉස්මතු කරලමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ වැඩූ විට, බහුල ව ම ප්‍රගුණකර ගත් විට සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්ඃ

  1. සත්පුරුෂයන් ඇසුරු කිරීම (සප්පුරිසසංසේවෝ).
  2. සද්ධර්ම ශ්‍රවණය (සද්ධම්මසවනං).
  3. යෝනිසෝ මනසිකාරය (යෝනිසෝ මනසිකාරෝ).
  4. ධර්මානුධර්ම ප්‍රතිපදාව (ධම්මානුධම්මපටිපත්ති).”

(ඵල සූත්‍රය – සං. නි. 5)

කෙලෙස් සහිත වූත්, කෙලෙස් දුරුකරන්නට වෙහෙස මහන්සි වන්නාවූත්, සියලු කෙලෙසුන්ගෙන් සදහට ම නිදහස් වූත් සෑම පුද්ගලයෙකු පිළිබඳ ව ම පරිපූර්ණ අවබෝධයක් ඇත්තේ භාග්‍යවත් වූ අපගේ බුදුරජාණන් වහන්සේට පමණි.

ඉහත දැක්වූ ධර්මයන් බහුලව ම ප්‍රගුණ කිරීමෙන් සෝතාපන්න බවට පත්වූ ආර්ය ශ්‍රාවකයෙකු තුළ දැකගත හැකි ධර්මයන් සතරක් පිළිබඳව ද අපට දේශනා කොට වදාළේ භාග්‍යවතුන් වහන්සේ විසිනි.

යම් පිරිසකට අප අනුකම්පා කරන්නේ නම්, යම් කෙනෙක් අපගේ වචනයට ඇහුම්කන් දිය යුතු යැයි සිතන්නේ නම් ඒ සියල්ලෝ ම සමාදන් කරවිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයන් වන සතරක් වූ සෝතාපත්ති අංගයන් ගැන උතුම් බුද්ධ දේශනා ඇසුරින් ම දැන හැඳිනගන්නට ඇත්නම් කොතරම් වාසනාවක් ද.

ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඬලින් දේශනා කොට වදාළ උතුම් වූ සංයුත්ත නිකායේ පස්වන කොටසේ මහා වර්ගයෙහි සෝතාපත්ති සංයුත්තයෙහි සඳහන් වන පරම පාරිශුද්ධ බුද්ධ දේශනා ඇසුරුකර ගනිමින් මේ ලිපිය සැකසෙන්නේ ඒ සඳහා යම් පෙළඹවීමක්, උනන්දුවක් ඇතිකිරීමේ උතුම් අදහස පෙරදැරිකර ගනිමින් ය.

එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි මහානාම ශාක්‍ය තෙමේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ අප කාගේත් සිත්වල හටගන්නා ආකාරයේ ප්‍රශ්නයකි. එනම්, බුදුරජාණන් වහන්සේවත්, මනෝභාවනීය භික්ෂූන් වහන්සේලාත් ඇසුරු කිරීමෙන් අනතුරුව නගරයට පිවිසෙන තමන්ට නගරයේ පවතින කලබලකාරී පරිසරය තුළ බුදුරජාණන් වහන්සේවත්, ධර්මයත්, ශ්‍රාවක සංඝරත්නයත් සිහිකර ගැනීමට නොහැකි වන බවත්, එවන් අවස්ථාවක මරණයට පත් වුවහොත් තමන්ගේ පරලොව ජීවිතයට එය කුමන අයුරකින් බලපාන්නේදැයි කියාත් ය.

එදාටත් වඩා අතිශය සංකීර්ණ කලබලකාරී සමාජ වටපිටාවක් තුළ ජීවත්වන අපට මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුර බෙහෙවින් ම ප්‍රයෝජනවත් වන්නේ ය.

තමන්ගේ මරණය ගැන බියක්, තැති ගැනීමක් ඇති නොකරගන්නා ලෙසත්, තමන්ට හිමිවන්නේ අළාමක මරණයක් බවත් මහානාම ශාක්‍ය රජතුමාට වදාළ බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාළේ සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා නිවනට නැඹුරු වූ, නිවනට යොමු වූ, නිවනට බර වූ අයෙක් වන බවත්, එම ශ්‍රාවකයා තුළ දැකගත හැකි සතර ධර්මය නම් සෝතාපත්ති අංගයන් සතර බවත් ය. එනම් එම ආර්ය ශ්‍රාවකයා,

  1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)
  2. ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)
  3. සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)
  4. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙයි. (අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති)

යම් දිශාවකට නැමී පවතින, යම් දිශාවකට බර වූ රුකක් මුලින් සිඳින විට ඒ රුක බර වී නැමී පවතින දිශාවට වැටෙන්නේ යම් සේ ද මේ ධර්මයන් සතරෙන් සමන්විත වූ ශ්‍රාවකයා ද නිවනට බර ව, නිවනට නැඹුරු ව, නිවනට යොමු ව පවතින නිසාවෙන් නිවන කරා ම යොමුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

සියලු දුගති භය ඉක්මවා යාම පිණිස උපකාරී වන්නා වූ ධර්මයන් ලෙසින් ද, අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස මෙන් ම නොබබළන සත්වයන් හට බබළනු පිණිස පවතින දෙව් පියවර සතර ලෙසින් ද, නිරයෙහිත්, තිරිසන් ලොවෙහිත්, ප්‍රේත ලොවෙහිත්, අසුර ලොවෙහිත් උපත ක්ෂය කළ, සෝතාපන්න වූ, අපායට නොවැටෙන සුලු වූ, නියතයෙන් ම නිවන පිහිට කොට සිටින්නෙකු ලෙස තමාට ම තමා ගැන කිව හැකි දහම් කැඩපතක් ලෙසින් ද භාග්‍යවතුන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළ සෝතාපත්ති අංගයන් පිළිබඳ ව නිවැරදි වූ මනා දැනුමක් ලබාගත හැක්කේ බුද්ධ දේශනා ඇසුරින් ම පමණි.

එම නිසා ඉඩප්‍රස්තා ලැබෙන පරිදි ඒ සෝතාපත්ති අංගයන් පිළිබඳ ව බුද්ධ දේශනා ඇසුරුකර ගනිමින් සුළුවෙන් නමුදු විමසා බැලීම වටින්නේ ය.

උතුම් සම්බුදු සසුනක් තුළ සෝතාපන්න බවට පත් වූ ආර්ය ශ්‍රාවකයා තුළ දැකගත හැකි පළමු සෝතාපත්ති අංගය නම් බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමෙන් යුක්ත වීම බව දැන් අපි කවුරුත් දනිමු.

තෙරුවන් සරණයි.🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English▼
X
X