Temples of Sri Lanka

විවිධත්වයේ සුන්දරත්වය …..

ආගමික සහනශීලී පිළිවෙතෙහි සුවිශේෂී කරුණක් ආගමානුකූලවූ ජීවිතයක් තුළ ගම්‍ය වේ.

පිරිස වැඩි කර ගැනීමට අවශ්‍යතාවක් බුදුදහමට උන්වහන්සේ තුළ නොතිබිණි. අපේ ආගම සත්‍යයි. අන් ආගම් අසත්‍යයි. පැවසූ අන්‍ය ආගමික ශාස්තෘවරුන්ගෙන් දාර්ශනිකයන්ගෙන් ගහන සමාජයක අන්‍ය ආගම් හා දාර්ශනවල අඩුපාඩු සහේතුකව පෙන්වා දී ඒවා නිවැරදි කරගැනීමට කාරුණික වූයේ ඒ බුවුන් වහන්සේමය.

සෑම ඉගැන්වීමක්ම විවෘත මනසකින් විමසා බලා තීරණ ගත යුතු බව උන්වහන්සේ වදාළහ.
බුද්ධ කාලීන භාරතීය සමාජය තුළ බමුණන් විසින් මහා බ්‍රහ්මයා විසින් ලෝකය මවන ලදැයි සංකල්පය බුදුරදුන්, නොපිළිගත්හ.

මහා බ්‍රහ්මයා දැක තිබෙන්නේ කවුරුන්දැයි ඔවුන්ගෙන් විමසූ විට ඔවුන් නිරුත්තර වූහ. නැවතත් උන්වහන්සේ විමසනවා සත්මුතු පරම්පරාවේ කෙනෙකුවත් දැක තිබේද? යනුවෙන්, ඒ අවස්ථාවේදී ද නිරුත්තර වූ බමුණන් ගතානු ගතික මතිමතාන්තරවල සත්‍යයක් නොමැති බව සමස්ත බමුණු සමාජයටම වැටහුණු අවස්ථාවක් උදා කලා. විශ්ව සාධාරණවූත් සර්වකාලීන වූත්, දාර්ශනිකව මව් පදවිය ප්‍රමුඛ කරගෙන ප්‍රජාව බිහිවෙන බව හා දෙමාපිය සබඳතාව තුළ ජනිත වන සත්වයා කරන ලද ක්‍රියාවන් අනුව වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන බව වදාළේ කිසිදු ගැටුමක් ඇති නොවන අයුරින්.

මානව වර්ගයා පහළ වූ කාලයේ සිටම ගැටුම් නොමැති කාලයක් දක්නට ලැබුණේ නැහැ .

‍පොළොව බෙදාගැනීම, විවිධ අයිතිවාසිකම් බෙදා ගැනීම් සඳහා ඒ ඒ කාලවල විවිධාකාරයෙන් ගැටුම් ඇතිවුණා. ලංකාවේත් විවිධාකාරයේ ගැටුම් පැවතුණා. අපි මේ රටේ මිනිසුන් වශයෙන් අන්‍යොන්‍ය බැඳීමකින් කටයුතු කර තිබෙන බවට සාධක ඉතිහාසය තුළින් අනාවරණය කරගත හැකියි. එසේ නොවුණා නම්, දියුණු කාර්මික, තාක්ෂණීය දැනුමක් සහිතව අතීතයේදී යෝධ සංවර්ධනයක් ඇතිවී තිබීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

මහා දැවැන්ත වැව්, අහස උසට නැගුන දාගැබ්, චෛත්‍ය නිර්මාණය කරන්නට යෙදුනේ යන්ත්‍ර සූත්‍ර නොතිබුණ අවධියක බව අප අමතක නොකළ යුතු කාරණාවක්. මේවා මනුෂ්‍යයාගේ සාමුහිකත්වය තුළින් ගොඩනැඟුන කාර්යභාරයක් බව අප හඳුනාගත යුතුයි.

කෙසේ හෝ අප රට විදේශීය ආක්‍රමණවලට නතුවීමත් සමඟ භේද භින්නතා වැඩිවශයෙන් ඇතිවී තිබෙන බව පැහැදිලිව දක්නට ලැබෙනවා.

වර්තමාන සමාජය මේ වන විට ආගම් , ජාති වශයෙන් විවිධ කණ්ඩායම්වලට අපේ රට බෙදී තිබෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා. ජාතීන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් , බර්ගර් වශයෙන් ද, ආගම් ලෙස බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් වශයෙන් බෙදී තිබීමේ වරදක් නැහැ. විවිධත්වය සමාජයක තිබෙන තරමට සමාජය ලස්සනයි. සෑම දෙයක්ම එකම ආකාරයෙන් පවතිනවා නම්, එහි කිසිදු ලස්සනක් නැහැ. එහි විශේෂත්වයක් නැහැ. පරිසරයේ වෙනස්කම් හා මිනිසුන්ගේ ලක්ෂණවල තිබෙන වෙනස්කම් හා විවිධත්වයන්හි තිබෙන සංකල්පයන් රැක ගන්න අප කටයුතු කරන්නට ඕන.

අපි වෙනස් වුවත්, අප හැමෝම එකිනෙකා හඳුනා ගන්න ඕන. සමඟිව එකට සිටීම තුළින් විශාල ශක්තියක් නිර්මාණය වෙනවා.
ආගම් වශයෙන් සළකා බැලීමේදී ලෝකය තුළ එකම ආගමක් පමණක් පවතිනවා නම්. එහි විශේෂත්වයක් දකින්න බැහැ. වෙනත් ආගමක් අදහන පුද්ගලයාද ඔහුගේ ආගමට ලැදි බව දැනගෙන ඔහුට ගරු කරන්න ඕන. ඔහු ඔහුගේ ආගම දහමට අනුව කටයුතු කරනවා නම්, අප ඔහු ඇගයීමට ලක් කරන්න ඕන. ඔහුගේ සංස්කෘතියට ඇගයීමට ලක්කරන්න ඕන. ඔහුගේ සංස්කෘතියද ගරු කරන්න ඕන. එකිනෙකාගේ ආගම් වටහා ගෙන, ඔවුනොවුන් ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම්, විවිධත්වය තිබූ පමණින් ප්‍රශ්නයක් ගොඩනැ‍ඟෙන්නේ නැහැ. විවිධ පුද්ගලයන් එකට ඒකරාශිවෙමින් කටයුතු කිරීමේදී ඇති වන ම්තත්ත්වයන් සුන්දර ස්වභාවයක් ගන්නා බව අපි තේරුම් නොගැනීම පවතින ගැටලුවයි.

අපි පමණක් නිවැරැදි බව හිතාගෙන කටයුතු කිරීමත්, සෙස්සන් සියලුදෙනාම වැරැදි බවට සිතා කටයුතු කිරීමත් වැරැදි ක්‍රියාවක් බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණාවක්.

හැම ආගමක්ම නිර්මාණය වී තිබෙන්නේ මනුෂ්‍ය වර්ගයාට යහපත් ජීවිතයක් ගතකිරීමට මඟ පෙන්වීමයි. වැරැදිවලින්, අපරාධවලින්, අපචාරවලින්, වෙන්වෙලා සදාචාර සම්පන්නව යහපත් ජීවිතයක් ගත කිරීමට සෑම ආගමක්ම නිර්මාණය වී තිබෙනවා.
එම ආගම්වල අන්තර්ගතවන මූලික ඉගැන්වීම් සමග ආගමික නායකයෝ විවිධ ජන කණ්ඩායම් සමඟ ඒකරාශීව ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා යම් ක්‍රමවේදයකට යාමේ නායකත්වය ආගමික නායකයන් ගැනීම හොඳයි. ආගමික නායකයන් ඉදිරිපත්වීම සාමාන්‍ය ජන සමාජයේ විශාල පිළිගැනීමක් වෙනවා.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X