කුඩා දරුවකුගේ ලෝකය තුළ දී ඕනෑ ම දෙයක් සිදු විය හැකි ය. පොත් රාක්කය පිටුපසින් අඟල් කිහිපයක් උසැති කුරුමිට්ටන් පෙළක් මතු වන තුරු කුඩා දරුවකු වරු ගණන් බලා සිටිනු ඇත. එය හුදෙක් අහිංසක බොළඳ ක්‍රියාවකි. එහෙත් එය ම වැඩිහිටියකු විසින් කරනු ලැබුව හොත්, හේ ‘උමතු වූවෙකැ’ යි අපවාදයට ලක් වන්නේ ය. ඒ බලා හිඳීම සම්මුති ව්‍යවහාරයට පටහැනි වන්නේ ය. කුඩා දරුවා තව ම සම්මුති ව්‍යවහාරය මනසින් හඳුනාගන්නට තැත් කරන්නෙකි. වැඩිහිටියා ව්‍යවහාරය මනසින් සම්මත කරගෙන අවසන් ය. එහෙයින් සිදු විය හැකි දේ හා සිදු විය නො හැකි දේ පිළිබඳ වැඩිහිටි මනස තුළ නිශ්චිත නිගමන ඇත්තේ ය.
යමකු සම්මුති ව්‍යවහාරය හඳුනාගන්නේ තමාගේ පසිඳුරන්ගෙන් ලබන අත්දැකීමෙන් හා බාහිර දැනුම ඇසුරෙනි. සමාධිමත් මනසක් නැති අයට මනස පිළිබඳ නිරාකුල අත්දැකීම් නැත. ඔවුහු ඇස, කන, නාසය, දිව, කය යන පසිඳුරන් විසින් ගෝචර කර ගනු ලබන භෞතික අත්දැකීම්වලට සීමා වෙති. එහි දී මනස සැලකෙන්නේ, හුදෙක් භෞතිකය අරභයා පහළ වන දෙවැන්නක් ලෙස ය. ඔවුහු ඖදාරික වූ භෞතිකය මුල් කරගත් අත්දැකීම් පමණක් විශ්වාස කරති; මනස මුල් කරගත් නිරාකුල අත්දැකීම් නැතැ යි සිතති. ඔවුහු සිහිනයෙන් මනස මුල් කරගත් භෞතිකයක අත්දැකීම් ලබති. එහෙත් සිහින ව්‍යාකුල ය. එහෙයින් එය විශ්වාස කටයුතු නැත්තේ ය.
බොහෝ දෙනාගේ අත්දැකීම් එකතු වීමෙන් දැනුම් පද්ධතියක් සැකැසෙන්නේ ය. සැවොම කුඩා කල පටන් කිසියම් දැනුම් පද්ධතියකට නිරාවරණය වෙති. ඒ ආධ්‍යාපනික හා සමාජයීය වශයෙනි. නූතන පාඨශාලයීය අධ්‍යාපනය නිතර ම භෞතිකයට මුල් තැන දෙන්නේ ය; මනස නො සලකා හරින්නේ ය. නූතන පොදු සමාජයෙන් ලැබෙන ඇසුර ද ඊට ම අනුගත වන්නේ ය. ඇතැම් විටෙක ආගම් හා පුරාණෝක්ති ඇසුරෙන් පමණක්, මනසට මුල් තැන දෙන උගැනුමක් ලැබෙන්නේ ය. බොහෝ විට පුද්ගලයෙක් දැනුම් පද්ධති කීපයක් ඇසුරු කරන්නේ ය. ඒ අතරින් එකකට වඩාත් ආකර්ෂණය වන්නේ ය. එකී ආකර්ෂණීය දැනුම් පද්ධතිය, ඔහුගේ හෝ ඇයගේ හෝ මනස තුළ සම්මුති ව්‍යවහාරය ගොඩනැඟීමට දායක වන්නේ ය. දැනුම් පද්ධති විවිධ ය. එසේ ම, පසිඳුරන්ගෙන් ලබන පෞද්ගලික අත්දැකීම් ද එකිනෙකාට අනන්‍ය වේ. එම බාහිර දැනුම් පද්ධති හා පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ගොඩනැඟෙන සම්මුති ව්‍යවහාරවල ඒකමිතියක් දක්නට නැත. සිදු විය හැකි දේ හා සිදු විය නො හැකි දේ පිළිබඳ පොදු එකඟතාවක් නැත්තේ එහෙයිනි.
පුද්ගලයකුට සියලු ක්ෂේත්‍ර සිසාරා සම්මුති ව්‍යවහාර ගොඩනැඟිය නො හැකි ය. කෙසේ වෙතත් ඇතැම් දිශාවලට අනුව සම්මුති ව්‍යවහාර ගොඩනැඟීම නුසුදුසු ය. එසේ නුසුදුසු අයුරෙන් දිශාගත වූ සම්මුති ව්‍යවහාර දහයකි. ඒ ‘මිච්ඡා දිට්ඨි’ නමිනි. එයින් වර්තමාන මානසික තත්ත්වය සේ ම, විපාක වශයෙන් ලැබෙන අනාගත අත්දැකීම් ද කටුක වන්නේ ය; ඒවා අදහන තාක් ආධ්‍යාත්මික ජීවිතය අහිමි වන්නේ ය. දීමක් හෝ යාගයක් හෝ පූජාවක් හෝ යනුවෙන් විශේෂ ක්‍රියාවක් නැත, යහපත් හා අයහපත් කර්ම අනුව ලැබෙන අනාගත ප්‍රතිඵලයක් නැත, මෙලොව හෝ පරලොව හෝ තුළ ජීවත් වීමක් නැත, මවක හෝ පියකු හෝ යනුවෙන් විශේෂ අයකු නැත, ඕපපාතික ව පහළ වන සත්ත්වයන් නැත, තමාගේ ප්‍රඥාවෙන් අත්දුටු මෙලොව හා පරලොව ගැන අන් අයට කියාදෙන පිළිවෙත් ගරුක පැවිද්දන් යනුවෙන් විශේෂ පිරිසක් නැත යනු නුසුදුසු අයුරෙන් දිශාගත වූ සම්මුති ව්‍යවහාර ය. ඒවාට අනුගත වන්නෝ මනසෙහි බලපෑම ගැන විශ්වාස නො කරති; හුදෙක් පසිඳුරන්ගෙන් ලබන භෞතික අත්දැකීම් ම අදහති.
පසිඳුරන්ට බාහිර ලෝකයේ භෞතික ස්වරූප ගෝචර වන්නේ ය. එහෙත් සැබැවින් ම භෞතික ස්වරූප හඳුනාගන්නේ මනසිනි. නිදසුනක් ලෙස: ඇසට ගෝචර වන්නේ හුදු වර්ණ සටහනකි. එකී වර්ණ සටහන ගෝචර වන්නේ ද ඇසෙහි භෞතික ස්වරූපයට නො ව, ඇස ඇසුරු කරගත් මනසට ය. ඇස ඇසුරු කරගත් මනසට වුවත්, වර්ණ සටහන් සහිත වස්තුවක ඝනකම හෝ දුර – ළඟ හෝ ගෝචර නො වන්නේ ය. ඒවා හුදු මනෝමය පරිකල්පිත ය. එකී මනෝමය පරිකල්පනයට, පෙර ලැබූ අත්දැකීම් දායක වන්නේ ය. පසිඳුරන්ගෙන් ලැබූ අතීත අත්දැකීම් ඇසුරෙන්, එළැඹි වර්ණ සටහනට ඉතිරි භෞතික ගුණාංග මනස විසින් නිසඟයෙන් ම ආරෝපණය කරනු ලබන්නේ ය. සැණෙකින් එතැන ඝනරූපී වස්තුවක් මැවෙන්නේ ය. එයට නිශ්චිත නමක් පටබැඳෙන්නේ ය. යමකු භෞතික ලෝකය පිළිබඳ සම්මුති ව්‍යවහාරයට නතු වන්නේ එලෙසිනි. එහි දී ඔහු හඳුනාගන්නේ භෞතික ලෝකය පිළිබඳ වූ මානසික ප්රක්ෂේපණයකි. එය භෞතික ලෝකය පිළිබඳ වූ අනුමානයකි. හුදෙක් පසිඳුරන්ගේ අත්දැකීම් ඇසුරෙන්, එකී අනුමානය යළි යළි තහවුරු කරගත හැක්කේ ය. ළදරුවකු අවට ලෝකය හඳුනාගනිමින් වෙහෙසෙන්නේ, සම්මුති ව්‍යවහාරය වඩාත් තාත්වික ව පරිකල්පනය කිරීමට ය. පරිකල්පිතය තුළ ඇත්තේ මායාවකි. එහෙත් වැඩිහිටි වත් ම, පරිකල්පනයේ ඇති මායාව අමතක වන්නේ ය; පරිකල්පනයෙන් සම්මත කරගත් ව්‍යවහාරය තාත්වික වූ යථාවකැ යි හඟින්නේ ය. යථාවකැ යි යන විශ්වාසයෙන් අත්දකිනවා වුවත්, යමකු එදිනෙදා ලබන ඕනෑ ම අත්දැකීමක ඇත්තේ නො ගිණිය හැකි තරම් වන මායාවන් සමූහයක එකතුවකි.
තම තමාගේ සම්මුති ව්‍යවහාර ඒ ඒ තැනැත්තාට පෞද්ගලික ය. එහෙත් සියල්ලන්ට ම ඒ පිළිබඳ පොදු එකඟතාවක් ඇත්තේ ය. සමස්ත මනුෂ්‍ය වර්ගයා ම පොදුවේ සම වූ මූලික ජීවනාත්දැකීම් පෙළක් ඇසුරේ වැඩෙති. ඔවුන් සිය සම්මුති ව්‍යවහාරය ගොඩනඟන්නේ එකී මූලික ජීවනාත්දැකීම්වල උත්තේජනයෙනි. එහෙයින් සියලු මිනිසුන්ගේ සම්මුති ව්‍යවහාර සම වන තැනක් ඇත්තේ ය. ඒ සම තැනෙහි මනස පිහිටුවීමෙන්, තමාට පෞද්ගලික වූ සම්මුති ව්‍යවහාරයක් යම් තරමකින් හෝ අනෙකාට සන්නිවේදනය කළ හැකි ය. සම්මුති ව්‍යවහාර සම වන තැනෙහි මනස පිහිටුවන අනෙකා ද, සන්නිවේදනය කරන ලද්ද වටහාගන්නේ ය. එහි දී ග්රාහකයා විසින් සන්නිවේදකයා තුළ වූ සම්මුති ව්‍යවහාරය ඍජු ව ස්පර්ශ නො කරන්නේ ය; වාචික හෝ ලිඛිත හෝ වශයෙන් භාෂා මාධ්‍යයක් මැදිහත්කරුවා වන්නේ ය. සංඛ්‍යා, සංගීත, චිත්‍ර ආදි විකල්ප මාධ්‍ය ද එහි ලා ඇතුළත් කළ හැකි ය. වාචික සන්නිවේදනයේ දී හුදෙක් කථිකයාගේ වදන් නමැති මාධ්‍යයට, ශ්රාවකයා තමාගේ සම්මුති ව්‍යවහාරයෙන් යම් අරුතක් ලබා දෙන්නේ ය. වදන් නමැති මාධ්‍යය පිළිබඳ වූ දෙදෙනාගේ හැඳිනීම් බැලූ බැල්මට සමතාවක් පෙන්වන්නේ ය. ශ්රාවකයාට යම් අදහසක් සන්නිවේදනය වන්නේ එහෙයිනි. එහෙත් එක ම වදනක් පිළිබඳ වුවත් දෙදෙනාගේ හැඳිනීම් ඔවුනොවුන්ට පෞද්ගලික ය. ශ්රාවකයාට හාත්පසින් ම අදහස සන්නිවේදනය නො වන්නේ එහෙයිනි.
ධර්ම සන්නිවේදනයෙහි මාධ්‍යය වන්නේ ද වදන් ය. ධර්මය ස්වරූපයෙන් පෙනී සිටින්නේ ද සම්මුති ව්‍යවහාරයකි. ධර්මයේ දී පුද්ගල කේන්ද්‍රීය ලෝකය නොයෙක් පැතිකඩවලින් විග්රහ කරන්නේ ය. එහෙයින් ධර්මය ‘පර්යාය’ වන්නේ ය. ධර්මයෙන් ඒකායන සම්මුති ව්‍යවහාරයක් නිර්දේශ නො කරන්නේ ය. හුදෙක් ඒ ඒ අවස්ථාව අනුව සම්මුති ව්‍යවහාර භාවිත කරන්නේ ය. ශ්රාවකයා ධර්ම රසය විඳින්නේ එවන් සම්මුති ව්‍යවහාරයක උපකාරයෙනි. එහෙත් සමහරු ධර්මය නොව, ධර්මමය සම්මුති ව්‍යවහාර පමණක් ග්‍රහණය කරති. ඔවුහු ධර්ම රසය නො ලබති. ඔවුන් ග්‍රහණය කරන්නේ, බාහිර දැනුම් පද්ධති හා පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් තමන් විසින් පෙර ගොඩනඟා ගන්නා ලද සම්මුති ව්‍යවහාරයක් සමග සැසඳිය හැකි ධර්ම ම ය සම්මුති ව්‍යවහාරයක් පමණකි. එසේ නො සැසැඳෙන ධර්ම ම ය සම්මුති ව්‍යවහාර, සිදු විය නො හැකි දේ ලෙස අවඥාවෙන් ප්‍රතික්ෂේප කෙරෙන්නේ ය; නැතිනම් සාහිත්‍යය නමින් සාංස්කෘතික ව ගරු තැන්හි ලා පිළිගැනෙන්නේ ය. බොහෝ ජාතක කථා අරභයා වූ නූතන ප්‍රතිචාර එයට නිදසුනකි. මිනිසුන් හා සතුන් අතර සංවාද, දෙවියන්ගේ හා අමනුෂ්‍යයන්ගේ මැදිහත් වීම් ආදිය ජාතකකථා තුළ ගහණ ය. නූතන සම්මුති ව්‍යවහාරයෙහි බැසගත් අය එවන් ගුප්ත සිදුවීම් හමුවේ වික්ෂිප්ත වෙති. එහෙත් තමා පෙර ගොඩනඟාගත් සම්මුති ව්‍යවහාරයට ගැති නොවන්නෝ, ඕනෑ ම ආකාරයක ධර්ම ම ය සම්මුති ව්‍යවහාරයක් ඇසුරෙන් ධර්ම රසය විඳගන්නට සමත් වෙති.
බුද්ධ වචනය යනු සම්මුති ව්‍යවහාර අතරින් උතුම් ම භාවිතාව ය. එයින් ශ්‍රාවක මනස ලෝකෝත්තර තත්ත්වයට නැංවෙන්නේ ය; සියලු සම්මුති ව්‍යවහාර ඉක්මවන්නේ ය; ආධ්‍යාත්මික ප්‍රඥාව අවදි ව හාත්පස පරමාර්ථ ධර්මතා දකින්නේ ය. ඇස් ඇත්තෝ තමා ඇතුළු ලෝකය හුදෙක් බාහිරින් දකිති. ආධ්‍යාත්මික ප්‍රඥාව ඇත්තෝ තමා ඇතුළු ලෝකය විනිවිද දකිති. සමාධිමත් මනස ධර්මයේ දිශාව අනුව මෙහෙයවීමෙන් ආධ්‍යාත්මික ප්‍රඥාව පහළ වන්නේ ය. එයින්, පෙර ගොඩනඟාගත් සම්මුති ව්‍යවහාරවලට තිබූ බැඳීම ලිහිල් කරන්නේ ය. එවිට උපදින්නේ නිදහස් හා ප්‍රබෝධමත් මනසිකාරයකි. එය කුඩා දරුවකුගේ ප්‍රභාස්වර මනසිකාරය වැනි ය. ළදරු මනස වැඩිහිටි වන්නේ, පුද්ගල වස්තු ආදියට නොයෙක් වටිනාකම් ලබා දීමෙනි. ඒ වටිනාකම් ලැබෙන්නේ ඒවා එකිනෙක ඝනරූපී ව හඳුනාගැනීමෙනි. එහෙත් ආධ්‍යාත්මික ප්‍රඥාව විසින් සියල්ල නැවුම් දෘෂ්ටිකෝණයකින් හඳුනාගනු ලබන්නේ ය. ඒ, හුදු චිත්ත – චෛතසික මාත්‍ර හා ධාතු ගුණ සහිත ප්‍රාථමික භෞතික ස්වරූප වශයෙනි. එසේ දක්නා විට කිසිවක විශේෂ වටිනාකමක් නො පෙනෙන්නේ ය. සම්මුති ව්‍යවහාරවල ඇති මායාව පෙනෙන්නේ ය. එසේ ආධ්‍යාත්මික ප්‍රඥාව පරමාර්ථ ධර්මතාවලට අවදි වන්නේ ය; සම්මුති ව්‍යවහාර පිළිබඳ උපේක්ෂක වන්නේ ය.
දිනක් බුදු රජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩසිටිය දී භික්ෂූන් වහන්සේට පුරාණ චින්තකයකුගේ පුවතක් වදාළ හ. (චින්තා සූත්‍රය: සංයුක්ත නිකාය, මහා වග්ගය, සච්ච සංයුක්තය) අතීතයේ දී එක් මිනිසෙක් සුමාගවා නමැති පොකුණුතෙරට වී ලෝකය පිළිබඳ කල්පනා කරමින් සිටියේ ය. හදිසියේ ම ඔහු පොකුණෙහි නෙළුම් දණ්ඩක් තුළට ඇතුළු වන සිවුරඟ සෙනඟක් දුටුවේ ය. සිදු විය නො හැකි දෙයක් දුටු බැවින් තමා උමතු වී ඇතැ යි ඔහු සිතුවේ ය. පසු ව ඔහු රජගහනුවරට ගියේ ය. තමා උමතු වූ බවට අනුමාන කරමින්, පොකුණුතෙර දී දුටු දසුන ගැන නුවරවාසීන්ට හෙළි කළේ ය. සිදු විය නො හැකි දෙයක් දුටු හෙයින් ඒකාන්තයෙන් ම ඔහු උමතු වී ඇතැ යි නුවරවාසීහු තහවුරු කළහ. ඒ පුරාණ චින්තකයාගේ පුවත භික්ෂූන් වහන්සේට පැවසීමෙන් අනතුරු ව බුදු රජාණන් වහන්සේ දෙව්ලොව පුවතක් විස්තර කළහ. අතීතයේ දී සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් විය. එයින් අසුරයෝ පැරැදුණහ. පැරැදුණු අසුරයෝ සුරයන් රවටමින්, සුමාගවා පොකුණෙහි නෙළුම් දණ්ඩක සැඟැවී අසුරලොවට පලා ගිය හ. පුරාණ චින්තකයා පොකුණුතෙර දී දුටුවේ එසේ සැබැවින් ම සිදු වූ දෙයකි. එහෙත් ඔහු නිගමනය කළේ එය අභව්‍ය වූවක් කියා ය. එහෙයින් පුද්ගල කේන්ද්‍රීය ලෝකය පිළිබඳ පරිකල්පිත සම්මුති ව්‍යවහාර ගොඩනැඟීමෙන් වළකින ලෙස බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට වදාළ හ. උන් වහන්සේගේ ඔවදන වූයේ, සංසාරයත් ඉන් මිදීමත් අනුව සියල්ල ගළපමින් ආධ්‍යාත්මික ප්‍රඥාව උපදවන ලෙස ය. එහි දී පුද්ගල කේන්ද්‍රීය ලෝකය පිළිබඳ සම්මුති ව්‍යවහාරවලින් මිදී, පරමාර්ථ ධර්මතා කෙරෙහි සිහිය අවදි වන්නේ ය. එයින් සංසිඳෙන ආධ්‍යාත්මය ලෝකෝත්තර තත්ත්වයට පත් වන්නේ ය.
කුඩා දරුවා මනසින් සැහැල්ලු වන්නේ, පරිසරයට අදාළ සම්මුති ව්‍යවහාර රටාව තවමත් නො හඳුනන හෙයිනි. කුඩා දරුවකුගේ මානසික සැහැල්ලුව නො දැනුවත්කම සමග බැඳුණකි. බුද්ධ ශ්රාවකයා පරමාර්ථ ධර්මතා පවා ප්‍රඥාවෙන් විනිවිද දකින්නේ ය. ඒ ප්‍රඥාවන්තයා, ගැති නොවී, හුදෙක් අවස්ථාවට අනුව සම්මුති ව්‍යවහාර රටාවක් භාවිත කරන්නේ ය. සිදු විය හැකි දේ හෝ සිදු විය නො හැකි දේ හෝ යනුවෙන් ඒකාන්ත වශයෙන් නිගමනය කිරීම, යම් සම්මුති ව්‍යවහාර රටාවකට ගැති වීමකි. සම්මුති ව්‍යවහාර රටාවක් ගොඩනැඟෙන්නේ, මනසෙහි යම් ප්රක්ෂේපණ පැතිකඩකට අනුව පරිකල්පනය කිරීමෙනි. යම් අවකාශයක යම් ක්ෂණයක දී පහළ වන සිද්ධි දාමයකින්, යම් පැතිකඩක් පමණක් පසිඳුරන් හරහා මනසට ප්රක්ෂේපණය වන්නේ ය. උපන් කුහුලින් යුතු ව, නො විඳි නව ප්රක්ෂේපණ පැතිකඩ සොයා යෑමෙන් ද පලක් නැත්තේ ය. අවසන, ලෝකෝත්තර තත්ත්වයට පත් වීමේ දී සියලු ප්රක්ෂේපණ අත්හළ යුතු හෙයිනි.