දුර්ලභ වූ මිනිසත් බව…
මගේ කියා මා ගෙන ආ දෙයක් නැත!
මගේ කියා ගෙන යන්නට දෙයක් නැත!
මගේ කියා කිසිවෙක් මේ ලොවේ නැත!
මගේ කියා මටවත් මම අයිති නැත!🪔
ධර්මයෙහි අපට අයිති තැන වන්නේ අවංකව සහ නිවැරදිව සිතිවිලි, ක්‍රියා හා වචනය මෙහෙයවා, මානයන්ගෙන් තොරව, ධර්මය ප්‍රායෝගිකව අනුගමනය කිරීමයි. එය සැප සම්පත් මෙන්ම නිවන් මග අවබෝධ කර ගැනීමට උපකාරී වේ.
බුදුදහම යනු අත්තූපනායික ධර්ම පර්යායකි. සබ්බේ තසන්ති දණ්ඩස්ස (සියලුදෙනා දඬුවමට බිය වෙයි.) සබ්බේ භායන්ති මච්චුනො (හැමදෙනා මරණයට බිය වෙයි.) සබ්බේසං ජීවිතං ප්‍රියං (හැමදෙනා තමන්ගේ ජීවිතයට ප්‍රිය වෙයි.) අත්තානං උපමං කත්වා (තමා උපමා කොට) න හනෙය්‍ය (විනාශයෙන් වැළකෙන්න) න ඝාතයෙ (ඝාතන නොකළ යුතුයි.)
අත්තූපනායික ධර්ම පර්යාය යනු තමන් උපමාවට ගෙන ලෝකය බැලීමයි. අප පළමුව බැලිය යුත්තේ අප ගැනයි. අප කැමැති දේ පවතියි. අප අකැමැති දේ පවතියි. අප කැමැති දෙයට අනෙක් අය කැමැති වෙති. අප අකැමැති දෙයට අනෙක් අය අකැමැති වෙති. මා දඬුවම් විඳීමට අකැමැති නම් අනෙක් අය දඬුවම් විඳීමට අකැමැති වෙති. දඬුවම නිසා මා විඳින වේදනාව අනෙක් අය එසේම විඳිති. ඒ නිසා මා විඳින පසුතැවිල්ල අනෙක් අය විඳිති. එසේ නම් මට දඬුවම දුකක් නම් අන් අයටත් එය දුකකි. තමන් අකැමැති දඬුවම වෙනත් කෙනකුට නොදිය යුතුයි. දඬු මුගුරු, අවි ආයුධවලින් කරන දඬුවමට මා අකැමැති වන්නා සේ අනෙක් අයත් අකැමැති වෙති. තමා උපමා කොට අන් අයට දඬුවම් දීමෙන් වැළකිය යුතුය.
මරණයට කවුරුත් බිය වෙති. කැමැත්තෙන් මරණය වැලඳ ගත්තෙක් නැත. මා මරණයට බිය නම්, මා උපමා කරගත් විට අන් අයද මරණයට බිය වෙයි. කවුරුන් හෝ මට පහර දී මා මරනවාට මා කැමැති නැත. එසේ නම් මා විසින් ද කිසිවකු නොමැරිය යුතුය. ජීවත් වීමට මා ප්‍රිය වෙයි. මා සේම අන් අයද ජීවත් වීමට ප්‍රිය වෙයි. එසේ නම් මගේ යුතුකම විය යුත්තේ, වගකීම විය යුත්තේ අන් අය ජීවත් කරවීමයි.
ලෞකික ජීවිතයේදී තමන් තමන්ට සිදුවනවාට අකැමැති පාපය, අකුසලය වෙනත් අය ඒ අයටත් සිදුවනවාට අකැමැති බව දැන පාපයෙන් වැළකිය යුතුයි. අකුසලයෙන් වැළකිය යුතුයි. ප්‍රාණඝාතය, සොරකම, කාම මිථ්‍යාචාරය, බොරුව, කේළම, පරුෂ වචන බිණීම, හිස් වචන බිණීම, මදයට හා ප්‍රමාදයට හේතුව මත්ද්‍රව්‍ය භාවිතය වැනි අපරාධවලින් වැළකිය යුතුයි. එවිට දුර්ලභව ලද මනුෂ්‍ය ආත්මභවයට සාධාරණයක් ඉටු වෙයි. එමෙන්ම තමන්ගේ දියුණුවට හේතුවන කුසල ධර්ම අන් අයගේ දියුණුවටත් හේතුවන බව දැන ඉටු කළ යුතුයි. කුසලය දැන එය ඉටු කිරීම තුළ ගැටුම් විරහිත සමාජයක් බිහි කළ හැකිය. එසේ නොමැතිව අන්ධ භක්තිය හා ආත්මාර්ථය තුළ හිඳිමින් දෙවියකු සිහිනයකින් ද නොසිතූ චර්යා ධර්මවල නිරත වීම තමාගේ අපායට මාවත හෙළි කර ගන්නවා පමණක් නොව ජීවත් වන සමාජය ද විනාශ කරයි.
ලෞකිකත්වය තුළ පමණක් නොව ලෝකෝත්තර දියුණුවෙහිදී ද තමා උපමා කොට තීන්දු තීරණ ගත හැකිය. ධර්මය දෙවියකු සතු නොවේ. ශාස්තෘවරයකු සතු නොවේ. යම් ධර්මයක් සතට සෙත සදන ධර්මයක් නම් එය සදාතනිකව පවතී. ස්වභාව ධර්මය තුළ පවතී. ශාස්තෘවරුන් කරනුයේ හැමදෙනාට විෂය නොවන ඒ ධර්මය මතු කිරීම පමණි. තමා තුළම මේ ධර්මය පවතී. තමා උපමා කර ගත් විට ඒ ධර්මය බුද්ධිමතාට වටහා ගත හැකිය. දෙවියන්, ශාස්තෘවරුන් අවශ්‍ය වන්නේ මේ යථාර්ථය අවබෝධ කර ගන්නට සිත නමැති කැඩපත පිරිසුදු කරගන්නටයි. සිත නමැති කැඩපත රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂියා, මසුරු, රළු ගති, මානය, මදය වැනි විවිධ කුණු, දූවිලි, දැලි තුළින් අවපැහැ ගැන්වී ඇත. දෙවියන්, ශාස්තෘවරුන් පෙන්වන යහමඟ ගමන් කිරීමෙන් මෙම සිත නමැති කැඩපත පිරිසුදු වෙයි. එවිට තමා තුළ වූ ධර්මය දකී.
තමා වියපත් වීම, ජරාවට පත්වීම, ලෙඩ වීම, මරණය ස්වභාවික ධර්මතා වේ. (ජරා ධම්මො, ව්‍යාධි ධම්මො, මරණ ධම්මො) මෙය තමා තුළින් දැකගත හැකිය. මෙය අනිත්‍යතාවයි. තමා අනිත්‍ය වන්නාසේම භෞතික, අභෞතික, ජීවී, අජීවී, අචින්තක, සචින්තක සියල්ල අනිත්‍ය වේ. (සබ්බේ සංඛාරා අනිච්චා) මෙය බුද්ධිමත්ව හඳුනාගතහොත් දියුණුවේ මඟ ඇත්තේ එතැනයි. මෙම ස්වාභාවික සංසිද්ධීන් ශාස්තෘවරයකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට වෙනස් කළ නොහැකිය. එයයි යථාර්ථය. මෙම යථාර්ථය නොදැක අස්ථිර වූ දේ ළඟා කරගන්නට කරන වෙහෙස දුකට හේතු වේ. එසේ වන්නේ මේ කිසිවක් අපට අයිති නොවන බැවිනි. අස්ථිර ලෝකයක් තුළ අස්ථිර වූ දෙය ලබාගන්නට වෙහෙසවීම මුළාවකි. මේ මුළාව තුළ අප වෙසෙන බැවින් සන්ථානගත හා සමාජගත ගැටුම් උපදී.
තමා දෙස බලන්න. තමා තුළින් අනුන් ගැන තීරණ ගන්න අපට මනැස හා නැණැස ඇත. ඒ තුළින් තමා දකින්න. අවට සමාජය දකින්න. නොදුටු, නොදන්නා දෙවියකු විශ්වාස කරනවාට වඩා තමා ගැන විශ්වසනීයත්වය ගොඩනඟා ගැනීම අගනේය. දකින සියල්ල හොඳ – නරක වශයෙන් නිවැරැදිව බෙදා ගනිමු. එය ඥානය ලැබීමයි. හොඳ – නරක වශයෙන් බෙදාගැනීම ඥානාන්විතයි. අනතුරුව යහපත තුළ පමණක් යෙදෙමු. යමක් යහපත් නම් එය තමන්ට හානි නොවෙයි. අනුන්ට හානි නොවෙයි. යහපත තුළ යෙදීම ප්‍රඥාවන්තභාවයයි. යහපත තුළ යෙදීම තුළින් අභ්‍යන්තර හා බාහිර වශයෙන් උසස් පෞරුෂයන් ලබමු. එය විද්‍යාවයි. එම පෞරුෂයන් තුළින් ලෞකික ජීවිතයට ආලෝකය ලබමු. පාරලෞකික ජීවිතයට ආලෝකය ලබමු. ලෝකෝත්තර ආලෝකය හෙවත් නිවනින් සැනසෙමු. අත්තූපනායික ධර්ම පර්යාය තුළින් දුර්ලභව ලැබූ මිනිසත් බව වඩාත් අර්ථවත් කර ගනිමු.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood