Temples of Sri Lanka

සෝවාන් මාර්ගය වළකාලන අඳුරු තැන්…

බෞද්ධයන්ගේ උතුම් ප්‍රාර්ථනාව වනුයේ සියලු කෙළෙස්‌ ප්‍රහීන කොට නිර්වාණය අවබෝධ කර ගැනීමයි. නිර්වාණය අවබෝධ කර ගැනීමේ පළමු පියවර වන්නේ සෝවාන් මාර්ගඵලය ලැබීමයි.

සෝවාන්වීම පිළිබඳව මේ වන විට සමාජයේ විවිධාකාර අදහස්‌ දක්‌නට ලැබේ. සමහරු සෝවාන් වූ බවට ඔවුහුම කියා ගනිති. තවත් සමහරු තමන්ට අනුන් සෝවාන් මාර්ගඵලලාභියකු කළ හැකි යෑයිද කියති. මෙම උතුම් මාර්ගඵලලාභී තත්ත්වය ඇතමෙක්‌ වාණිජකරණය කළ අවස්‌ථාද පසුගිය කාලයේදී දක්‌නට ලැබිණි.

එනිසාම සෝවාන් වීම යනු කුමක්‌ද? බුදුන් දවස සෝවාන් වූ චරිතවල ස්‌වභාවය කෙබඳුද? බොහෝ කෙළෙස්‌වලින් පිරි වත්මන් සමාජයේත් සෝවාන් මාර්ගඵලලාභීන් සිටිය හැකිද?… යනාදී මාතෘකා පිළිබඳව ධර්මානුකූල විවරණයක යෙදීමට අපි අදහස්‌ කළෙමු. මේ එහි පළමු පියවරයි.

සැදැහැවත් බෞද්ධයාගේ පරම අපේක්‌ෂාව, උතුම්ම අපේක්‌ෂාව වනුයේ සියලු කෙළෙස්‌ ප්‍රහීන කොට නිර්වාණය අවබෝධ කර ගැනීමයි.නිර්වාණය අවබෝධ කර ගැනීමේදී සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හා අර්හත් යන මාර්ග ඵලලාභී තත්ත්වයන් සාක්‌ෂාත් කරගත යුතුයි.

මෙම ක්‍රමවේදය අනුපූර්ව ශික්‌ෂා ප්‍රතිපත්තියක්‌. එනම් පිළිවෙළින් ක්‍රමානුකූලව ගමන් කළ යුතු අවස්‌ථාවක්‌. එය අනුපුබ්බ ශික්‌ඛා අනුපුබ්බ කිරියා, ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

ඇතැමෙක්‌ සෝවාන් වී, ඇතැමෙක්‌ සකෘදාගාමි වී ගිහි ජීවිත ගතකර තිබෙනවා. ඒ අය මාර්ගලාභී තත්ත්වයන්ට පත්වී භෞතික ජීවිත ගත කරමින් අධ්‍යාත්මික වශයෙන් පාරිශුද්ධභාවයට පත්වී උතුම් නිවන් සුවය ලබාගෙන තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවී වසර 2600 ක්‌ ගතවී තිබෙනවා. මේ කාලය තුළදී දෙව්, මිනිසුන් සහිත අනන්ත අප්‍රමාණ සත්වයෙක්‌ උතුම් නිර්වාණ සුවය අත්පත් කරගෙනත් තිබෙනවා. ඒ වගේම සෝවාන් මාර්ගලාභී තත්ත්වයට පත්වූ අනන්ත අප්‍රමාණ සත්වයෙකුත් සිටිනවා.

සෝවාන් වූ පුද්ගලයකුට එම භවයේදී සකෘදාගාමි, අනාගාමි අර්හත් යන මාර්ගඵල ලැබ නිර්වාණය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඊළඟ ආත්ම භාවයේදීත් උප්පත්තිය ලබනවා. එම ආත්ම භාවයේදීත් නිර්වාණය අවබෝධ කර ගැනීමට ඔහුට නොහැකි වුවහොත් තවත් ආත්මභාවයේදීත් උප්පත්තිය ලබනවා. මේ ආදී වශයෙන් සෝවාන් වූ පුද්ගලයකු උපරිම වශයෙන් නැවත උපදින්නේ ආත්මභාවයන් හතක පමණයි. අනිවාර්යයෙන්ම හත්වෙනි ආත්මයේදී ඔහු නිර්වාණාවබෝධය සාක්‌ෂාත් කර ගන්නවා. හත්වෙනි ආත්මභාවයේදී ඔහු මිනිසකු වුවත් දෙවියකු ලෙස උප්පත්තිය ලැබුවත් සකෘදාගාමී, අනාගාමී හා අර්හත් යන අනෙකුත් මාර්ගඵල ලබා නිවන් සුව ලබනවා. සත්තක්‌කත්තු පරම යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙම කාරණයයි.

සෝවන් වූ පුද්ගලයකු මේ භවයේදී නිවන්සුව නොලබනවා කියන්නේ ඊළඟ ආත්මයේදී මවු කුසක හෝ පිළිසිඳ ගත යුතුයි. නමුත් සෝවාන් වූ උතුමෙකු කවදාවත් සතර අපායේ උප්පත්තිය ලබන්නේ නැහැ. අභව්‍ය ස්‌ථානවල උප්පත්තිය ලබන්නෙත් නැහැ.

සෝවාන් වූ පුද්ගලයකු යළිත් මව් කුසක පිළිසිඳ යළි ඉපදීම ජාතසෝපන්න ලෙසයි බුදුදහමේ සඳහන් වන්නේ. මෙහි තේරුම සෝවාන්වීමෙන් උපන් යන්නයි. එහෙත් ඒ ආකාරයෙන් උපන් පුද්ගලයකුට ඇඟිල්ල දිගුකර ඔහු සෝවාන් වූ පුද්ගලයකු යෑයි අපට පෙන්විය නොහැකියි.

මෙවැනි වටපිටාව නැතහොත් පසුබිම් පදනම් කරගෙන මේ සමාජයේත් තමන් සෝවන් වූ පුද්ගලයන් බව කියන පිරිසක්‌ ඉන්නවා. එනම් තමන් මාර්ගඵල ලාභී යෑයි කියා ගන්නා උදවිය ඉන්නවා. මෙය අසත්‍යක්‌, බොරුවක්‌. මෙසේ තමන් සෝවන් වූවා යෑයි කියන සෝවාන්වීම යනු කුමක්‌දැයි කියාවත් දන්නේ නැහැ. සෝවාන්වීම පිළිබඳව ඔවුන් කිසිවක්‌ නොදැනයි එලෙස ජනතාව නොමඟ යවන්නේ. මේවා අප නම් දකින්නේ සහාසික අපරාධ ලෙසයි. එලෙස හඳුන්වන පුද්ගලයන් තමන් පව් පුරවා ගන්නවා පමණක්‌ නොවෙයි සෙසු අයද පව්වලට පොළඹවා ගන්නවා. ජනතාව මුළා කරනවා. මේ අයගේ තියෙන්නේ වංචනික ධර්ම.

නමුත් බුද්ධ දේශනාව අනුව ලෝකයේ රහතන් වහන්සේලාගෙන් එසේත් නැත්නම් මාර්ගඵල ලාභීන්ගෙන් ශූන්‍ය වන්නේ නැහැ. නමුත් අප ජන සමාජයේ මාර්ගඵල ලැබුවායි කියන ඔය කිසිකෙනෙක්‌ එවැනි තත්ත්වයන්ට පත්වූවන් නොවන බව නම් ඉතා පැහැදිලියි.

ඇයි කෙනෙක්‌ සෝවන් වූ බව කියන්න අපහසු. ඊට හේතු තියෙනවා. ඒ ගැන සොයා බැලිය යුතුයි. යම්කිසි කෙනෙක්‌ සසරේ ගමන් කරන්නේ කෙළෙස්‌ නිසා. කෙළෙස්‌ කොපමණ තිබේදැයි අපි දන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තිබූ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මූල තමයි අදත් තියෙන්නේ. නමුත් ඒ දේවල් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. සමහර විට ඒ ආකල්ප වැඩිවන්නත් පුළුවන්.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X