Temples of Sri Lanka

ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ 91 වැනි ජන්ම දිනයට උත්තරීතර ත්‍රෛනිකායික මහා සංඝ සභාවේ ශුභාශිර්වාද

අපරිමිත වු කරුණාවෙන් උතුම් සම්බුදු දහම ලෝ තලය තුළ සුපතල කරන්නට දිවියම කැප කලා වු ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ 91 වන ජන්ම දිනයට ධර්මාශිර්වාද ප්‍රාර්ථනා කරමින් බියගම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී සියම් මහා නිකායේ, අති පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර මහානායක ස්වාමිද්‍රයාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික 130 ක් නමක් වු උතුම් සංඝරත්නයෙහිලා පිණ්ඩපාත දානයක් සහ සුපින්වත් බැතිමතුන් 300 කට අධික සංඛ්‍යාවකගේ පින්බර කුසල් සිතින් පෙරටුකොටගෙන සිදු වු අතර ගර්භණි මව්වරුන් සඳහා පෝෂණ මළු බෙදීමේ සද්භාවයේ පින්කම ද 2026 ජුලි 08 වන බදාදා දින සිදුවිය.

අතිපූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර මහානායක ස්වාමිද්‍රයාණන් වහන්සේගේ ධර්මානුශාසනා හා බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ, අන්තර්ජාතික බෞද්ධ මහා සමිති සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ, බියගම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ආගමික, සංස්කෘතික හා සමාජ සබඳතා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක බලංගොඩ සීලරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙන්ම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරි ආචාර්ය ශර්මිලා මිල්රෝයි මැතිණියගෙත් සංවිධානාත්මක ශක්තියෙන් මෙම මාහැඟි පුණ්‍යෝත්සවය සාර්ථකව සිදු වුණි.

මහා සංඝරත්නය සංඝ සභා ගැබ ආමන්ත්‍රණය කරමින් අනුශාසනා දේශන වදාළේ ය. සංඝ සභාව ඇමතු සියම් මහා නිකායේ, කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක ධූරන්දර අති ගෞරවාර්හ මල්වානේ පඤ්ඤාසාරාභිධාන මහ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ දේශනා කලේ,

“වෛරයෙන්, ක්‍රෝධයෙන් සහ යුධ ගින්නෙන් දැවෙන වර්තමාන ලෝකයට දලයි ලාමා වහන්සේ පෙන්වා දෙන මෙම මානුෂීය ගුණ සුවඳ අත්‍යාවශ්‍යම ඖෂධයක් බවයි “

දෙවනුව සංඝ සභාව ඇමතු, මල්වතු විහාරවාසී, විශ්‍රාමලත් පරිවෙණාධිපති, ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගෝනපොල සංඝරතන නායක යතිවරයාණන් වහන්සේ දේශිත අදහස් අතර,
” ශ්‍රී ලංකාව වැනි බහු ආගමික රටකට උන්වහන්සෙගේ මෙම දර්ශනය අතිශයින්ම ප්‍රායෝගිකයි. ආගමික අන්තවාදයෙන් තොර, එකිනෙකාට ගරු කරන සමාජයක් බිහිකිරීමට දලයි ලාමා වහන්සේගේ මෙම ආදර්ශය අප නිරන්තරයෙන් අනුගමනය කළ යුතුය.”
යන්න වඩාත් සුවිශේෂි විය.
එසේම රාමඤ්ඤ මහා නිකායේ, පොළොන්නරු සහ ත්‍රිකුණාමල දෙදිසාවේ දිසාපාලක ධූරන්ධර කඩුගන්නාවේ පියදස්සි නාහිමියන් විසින් සංඝ සභාව අමතා දේශනා කලේ,
“දරුණු දේශපාලනික හා ආක්‍රමණශීලී බාධක මධ්‍යයේ වුව ද, කිසිදු අවස්ථාවක ආයුධ අතට නොගෙන,ස් වෛරයෙන් තොරව මහා කරුණාවෙන් සහ අවිහිංසාවාදී පිළිවෙතින් පමණක් මම ජනතාවගේ සංස්කෘතික උරුමය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට උන්වහන්සේ කටයුතු කළා.”
යන්නයි.
ඉන් අනතුරුව දේශකයාණන් වහන්සේ සේනාධි සිව් කෝරළේ විශේෂ අධිකරණ සමතබල සම්පන්න උපප්‍රධාන අධිකරණ සංඝ නායක අතිපූජ්‍ය වටරැක අනුරුද්ධ නායක හිමිපාණන් ය. උන්වහන්සේ  පවසා සිටියේ,
” වර්තමාන ලෝකයේ පවතින නවීන අධ්‍යාපන ක්‍රමය මගින් භෞතික සංවර්ධනය පමණක් ලබා දුන්න ද මිනිසාගේ මනස පාලනය කරන ආකාරය හෝ අභ්‍යන්තර සාමය ළඟා කරගන්නා ආකාරය උගන්වන්නේ නැති බව උන්වහන්සේ නිරන්තරයෙන් පෙන්වා දෙනවා.”
යන්නයි.
අවසාන වශයෙන් සංඝ සභා ගර්භය ආලෝකමත් කළ දේශකයාණන් වහන්සේ වූයේ, බියගම ත්‍රෛනිකායික සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය බෙලිගල අමරසිරි නායක හිමියන්‍ ය. උන්වහන්සේ දේශනා කළ අදහස් අතරින්
 “ගෝලීය වශයෙන් බුදුදහම නංවාලීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් වත්මන් ඉන්දීය නායකත්වය සහ ගරු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ලබාදෙන සුවිශේෂි අඛණ්ඩ රාජ්‍ය අනුග්‍රහය සහ කැපවීම ද අප මෙහිදී මහත් ගෞරවයෙන් යුතුව අගය කල යුතුය”
යන්නයි.
මෙසේ සංකේතාත්මක හා හරවත් ධර්ම දේශනයන්ගෙන් සංඝ සභාගැබ ආලෝකමත් විය.

මෙම ඓතිහාසික පුණ්‍ය මහෝත්සවය සඳහා ප්‍රමුඛ පෙළේ ප්‍රභූ ගිහි පිරිසක්, දේශපාලන අධිකාරියේ නියෝජිතයන් සහ සිවිල් ක්‍රියාකාරීන් රැසක් ද එක්ව සිටියහ. ඒ අතර හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා, බියගම නියෝජ්‍ය නගරාධිපති සුගත් දිසානායක මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) බියගම සංවිධායක අජිත් කුමාර මහතා, සර්වජන බලයේ ගම්පහ දිස්ත්‍රික් නායක ජයන්ත අතපත්තු මහතා, සමගි ජන බලවේගයේ (SJB) බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි එරන්දතී හෙට්ටිආරච්චි මහත්මිය සහ බියගම පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (HQI) ප්‍රභාත් පරණවිතාන මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

බැතිමතුන්ගේ සාධූ නාදයන් මධ්‍යයේ ශ්‍රේෂ්ඨ වු මහා සංඝ සභාව ඇතුළු ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේලා ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේට අවුරුදු 130 ආයු ලැබ ලෝකයට කරුණාවේ බීජ වපුරන්නට ආශිර්වාද පතමින් සෙත් පිරිත් සජ්ඣායනාවක් සිදු කළේ ය.
ඉන් පසු ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ 91 වන ජන්ම දිනයට ශුභාශිර්වාද පතමින් සුබ පැතුම් පත්‍රයක් අත්සන් කිරීමද සිදු විය.
පිංකම අවසානයේ බෞද්ධ සහෝදරත්ව පදනමේ කරුණා ධාරා ව්‍යාපෘතිය යටතේ ගැඹිණි මව්වරුන් සඳහා වියලි සලාක බඩු මළු බෙදාදීම ද සිදුවිය.
මේ පුණ්‍යකර්මයේ පින් බලයෙන් 21 වන සියවසේ ධර්මාලෝකයෙන් බබළන ඒ කාරුණිකයාණන් වහන්සේ වන ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට 130 වසරක් ආයු ලැබේවා!
සහෝදරත්වයෙන් එක්වෙමු 🙏🏻
You might also like
en English
X
X