යථාර්තයක් වූ පට්ඨානය….
ඔබ රථයක් ගැන හිතන්න.යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ දැනුමක් ඇති පුද්ගලයකුට,එම රථය ආපදාවකට ලක්වූ විට එය පරීක්ෂා කර දෝෂය හඳුනාගෙන නැවත සකස් කර ගැනීමට හැකියාව ඇත. එයට හේතුව, එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔහුට තිබීමයි.නමුත් ඒ පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයකුට එවැනි අවස්ථාවක සිදුවන්නේ කලබලයට පත්වීම, අසරණ වීම සහ අන් අයගේ උපකාර මත පමණක් රඳා සිටීමටයි.
එලෙසම, ඔබ හිතන්න පුද්ගලයකු රෝගාතුර වූ විට දක්ෂ වෛද්‍යවරයකු රෝගයේ හේතුව,එහි ස්වභාවය, සුව කළ හැකි ආකාරය සහ ප්‍රතිකාර ක්‍රමය පැහැදිලි කරයි. එහෙත් රෝගය පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයා රෝගයට වඩා බියෙන් හා අවිනිශ්චිතතාවයෙන් පීඩා විඳියි.
ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකටම මෙය සත්‍යයකි. යම් ක්ෂේත්‍රයක් පිළිබඳ දැනුමක් ඇති අය ගැටලුවක් ඇති වූ විට එහි හේතුව හඳුනාගෙන හානිය අවම කරමින් නිවැරදි විසඳුමක් සොයා ගනිති’ දැනුමක් නොමැති අය එම ගැටලුව ඉදිරියේ අසරණ වෙති.
අද සමාජයේ බොහෝදෙනා ‘හිත හදාගන්න ඕනෑ’ ‘හිත ශක්තිමත් කරගන්න ඕනෑ’ යන වචන නිතර පවසති. එහෙත් සිත සැබැවින්ම ගොඩනඟන්නේ කෙසේද, සිතේ දුර්වලතා හඳුනාගන්නේ කෙසේද, එය ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිවැරදි ක්‍රමවේදයක් බොහෝදෙනා නොදනිති.
ඉංජිනේරුවකු ගොඩනැඟිල්ලක් හෝ පාලමක් ඉදිකරන විට, මුලින්ම බර දරන ස්ථාන හඳුනාගෙන ඒවා ශක්තිමත් කරයි’ එවිට එම ගොඩනැඟිල්ල දිගුකාලීනව ස්ථාවරව පවතී,නමුත් දුර්වල පදනමක් මත ඉදිකළ ගොඩනැඟිල්ලක් ඉතා ඉක්මනින් කඩාවැටේ.
මිනිස් ජීවිතයත් එසේමය.අද බොහෝදෙනා ‘මගේ ජීවිතය කඩාවැටුණා’ යැයි පවසන්නේ, ජීවිතය නොව” එය දරාගෙන සිටිය යුතු සිත ශක්තිමත් කරගැනීමේ මාර්ගය නොදන්නා බැවිනි.
ශක්තිමත් ජීවිතයක් ගොඩනැඟීමට නම්, මුලින්ම ශක්තිමත් සිතක් අවශ්‍යය. සිත දුර්වල වූ විට, බාහිර සිදුවීම්වලට වඩා ඒවා පිළිබඳ තමන්ගේ ප්‍රතිචාරයම විශාල දුකක් බවට පත්වෙයි.
අද බොහෝදෙනා පීඩා විඳින්නේ”
🍁අන් අයගේ වැරදි නිසා”
🍁ආදරය බිඳවැටීම නිසා”
🍁දරුවන්ගේ හැසිරීම් නිසා”
🍁ආර්ථික හෝ ශාරීරික අඩුපාඩු නිසා”
🍁අසනීප තත්ත්වයන් නිසා”
🍁අනාගතය පිළිබඳ බිය නිසා”
🍁අතීතය පිළිබඳ පසුතැවීම නිසාය’
එහෙත් මේ සියල්ලේම පොදු ලක්ෂණයක් ඇත’ දුක ඇතිවන්නේ සිදුවීම නිසාම නොව” එම සිදුවීම පිළිබඳ අප සිත ගොඩනඟන ආකාරය නිසාය’
මෙය බොහෝදෙනා ජීවිත කාලය පුරාම නොදන්නා සත්‍යයකි. එබැවින් දුකේ සැබෑ හේතුව හඳුනානොගෙන,දුකටම එරෙහිව සටන් කරමින් ජීවිතය ගතකරති.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෑම දුකකටම හේතුවක් ඇති බවත් හේතුව හඳුනාගත් විට එය නැති කළ හැකි බවත් ය.වෛද්‍යවරයකු රෝගය සුව කරන්නේ රෝග ලක්ෂණ නොව රෝගයේ හේතුව ඉවත් කිරීමෙනි. එලෙසම ධර්මය අපට උගන්වන්නේ දුකෙන් පැන යෑම නොව දුක ඇති කරන හේතු අවබෝධ කර ඒවා නිරෝධ කර ගැනීමයි.
එබැවින් තමන්වම හැදෑරීම ජීවිතයේ ඉතාම වැදගත් අධ්‍යයනය වේ’ අප ලෝකය දකින්නේ එය තිබෙන ආකාරයට නොව” අපේ සිත එය අර්ථකථනය කරන ආකාරයටය’ එම නිසා එකම සිදුවීමකට පුද්ගලයන් දෙදෙනකු සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිචාර දක්වති’
ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස මගින් ලැබෙන අරමුණු වැරදි ලෙස ග්‍රහණය කළ විට ඒවා පිළිබඳ මුලාවක් ඇතිවෙයි. එම මුලාවෙන් තණ්හාව, ද්වේෂය, භය, ඊර්ෂ්‍යාව, ආශාව සහ දුක උපදියි. එතැනින්ම ජීවිතයේ බොහෝ ගැටලු ආරම්භ වෙයි.
මෙම සත්‍යය අවබෝධ නොවීම නිසාම මිනස්සු ඇතැම් විට ජීවිතය පවා විනාශ කර ගනි.එහෙත් ඔවුහු විඳින දුකේ සැබෑ හේතුව බාහිර ලෝකය නොව තමන් තුළ ඇති වැරදි අවබෝධය බව නොදනිති.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකය වෙනස් කිරීමට නොව ලෝකය පිළිබඳ අපගේ අවබෝධය නිවැරදි කිරීමට ධර්මය දේශනා කළහ.
බොහෝදෙනකුට පට්ඨානය යනු අභිධර්මයේ අවසාන ග්‍රන්ථය පමණක් බවට හැඟීමක් තිබේ. එහෙත් එය එතරම් සරල නොවේ.
පට්ඨානය කියවීම යනු පොතක් කියවීම නොව” ජීවිතය කියවීමට ඉගෙන ගැනීමයි.
අපගේ සිතේ උපදින සෑම සිතුවිල්ලක්ම, කර්මයේ සෑම ප්‍රතිඵලයක්ම සතුට හා දුක ලෙස අප අත්විඳින සෑම අත්දැකීමක්ම හේතු සහ ප්‍රත්‍යයන්ගේ දෘෂ්ටියෙන් විමසා බැලීමට පට්ඨානය අපට උගන්වයි.
‘මම කෝප වුණා’ යන සම්මත අදහස හේතු සහ ප්‍රත්‍යයන් අනුව දෝසමූල චිත්තයක් උපන්නා. යන ධර්ම දෘෂ්ටිය බවට පරිවර්තනය වන මොහොතේ සිටම පුද්ගල සංකල්පය ලිහිල් වෙමින් අනාත්ම සත්‍යය දෙස සිත විවෘත වීමට පටන් ගනී.
අද සමාජයට පට්ඨානය අවශ්‍ය බව හිතමු….
අද මිනිසා සොයන්නේ තොරතුරු නොව ජීවිතයට පිළිතුරුය. මානසික ආතතිය, බිය, තරහ, තරගකාරිත්වය සහ අසහනය වැඩිවෙමින් පවතින මෙවන් යුගයක පට්ඨානය හුදෙක් ශාස්ත්‍රීය විෂයයක් නොව ජීවිතය අවබෝධ කරගැනීමේ ප්‍රායෝගික මාර්ගෝපදේශයක් බවට පත්වෙයි.
එය තරුණ පරපුරට විමසීමට ඉගෙන දෙයි. භාවනානුයෝගීන්ට ගැඹුරින් දැකීමට මඟපෙන්වයි. සාමාන්‍ය ගිහි ජීවිතය ගතකරන අයට ද සතුට සහ දුක දෙකම යථාර්ථය අනුව කියවීමට උපකාර කරයි.
අවසානයේ පට්ඨානය අපට උගන්වන්නේ එක් මහා සත්‍යයකි.
ලෝකය පුද්ගලයන් විසින් නොව හේතු සහ ප්‍රත්‍යයන් විසින් ගලා යයි.එය දකින තැනැත්තා තුළ අවිද්‍යාවේ අඳුර ක්‍රමයෙන් පහව යන අතර ප්‍රඥාවේ ආලෝකය විහිදෙන්නට පටන් ගනී. ඒ නිසා පට්ඨානය යනු අභිධර්මයේ අවසාන ග්‍රන්ථය පමණක් නොව ජීවිතය තේරුම් ගැනීමටත් සිත පිරිසිදු කිරීමටත් භාවනාව ගැඹුරු කිරීමටත්සසර සීමාවන් ඉක්මවා නිවන කරා ගමන් කිරීමටත් බුදුරජාණන් වහන්සේ දායාද කළ අමිල මාර්ගෝපදේශයකි.
තෙරුවන් සරණයි.🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood