Temples of Sri Lanka

බෞද්ධ උරුමයෙන් බැඳුණු ඉන්දු–ලංකා මිත්‍රත්වයට නව පාලමක්

මෛත්‍රී සේතු

‘මෛත්‍රී සේතු’ අන්තර්ජාතික අධ්‍යාපන හා සංස්කෘතික සංකීර්ණයේ මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය බියගමදී…

ඉන්දු–ශ්‍රී ලංකා ඓතිහාසික, සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරෙන ‘මෛත්‍රී සේතු’ අන්තර්ජාතික අධ්‍යාපන හා සංස්කෘතික සංකීර්ණයේ මංගල ශෛල ප්‍රතිෂ්ඨාපන උත්සවය ඔක්තෝම්බර් 30 බියගම ශ්‍රී බෝධිදෲමාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

ඉන්දු–ශ්‍රී ලංකා මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ මෙම සුවිශේෂී අවස්ථාවට දෙරටේ ආගමික, රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලනික හා ශාස්ත්‍රීය ක්ෂේත්‍ර නියෝජනය කරන සම්භාවනීය පිරිසක් සහභාගි වූහ. බෞද්ධ දර්ශනය, අධ්‍යාපනය, සංස්කෘතික උරුමය සහ බෞද්ධ සහෝදරත්වය පදනම් කරගනිමින් දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා අනාගත පරපුර වෙත ගෙන යාම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ උත්සවය සභාගත වූ අතර සියම් මහා නිකායේ කල්‍යාණී ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිගෞරවාර්හ මල්වානේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික අනුනායක සහ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ මෙම උත්සවය පැවැත්විණි.

ඉන්දියාවේ Sangha Buddhist Foundation හි සභාපති සංඝරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ඉන්දීය මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිදුන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිදුන්, ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් සහ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මැතිදුන්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල මැතිදුන් සහ ඉන්දීය ලෝක් සභා මන්ත්‍රිනී ආචාර්ය ජෝති වග්මෙයර් මැතිණිය ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් අවස්ථාවට එක්වූහ.

එසේම බියගම ප්‍රදේශය නියෝජනය කරමින් විද්වතුන්, බෞද්ධ නායකයින්, ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලන නිලධාරීන් ඇතුළු පන්සියයකට අධික පිරිසක් ද මෙම උත්සවයට සහභාගි වූහ.

දේශීය සංස්කෘතිකාංගවලින් අලංකාර වූ උත්සවය, ඔක්තෝම්බර් 14 ආචාර්ය අම්බෙඩ්කාර් මැතිඳුන්ගේ ධම්චක්කපවත්වන දිනය සිහිකරමින්, පහන් වැටි 14 ක් දැල්වීමෙන් ආරම්භ වූ අතර, අනතුරුව සහභාගි වූ පිරිස මහානායක හිමියන් විසින් පංචශීලයේ පිහිටුවීම සිදු කෙරිණි.

• අනගාරික ධර්මපාල සහ ආචාර්ය අම්බේඩ්කාර් පිළිරූ සඳහා මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය

උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ භාරතරත්න ආචාර්ය බී. ආර්. අම්බේඩ්කාර්තුමාගේ පිළිරූ වෙනුවෙන් මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිදුන්, අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිදුන්, ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය ජෝති වග්මෙයර් මැතිණිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක සපුමල් රන්වල, ව්‍යාපෘති කැඳවුම්කරු ආචාර්ය දමෙන්ද පෝරගේ ඇතුළු ශ්‍රී ලාංකික හා ඉන්දීය නායකයින් එක්ව සිටියහ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින බෞද්ධ හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේදී මෙම ශ්‍රේෂ්ඨ චරිත දෙකේ දර්ශන හා සමාජ මෙහෙවර සුවිශේෂී වැදගත්කමක් උසුලයි. අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධ පුනරුද මෙහෙවර සහ ආචාර්ය අම්බේඩ්කාර්තුමාගේ අධ්‍යාපනික හා සමාජ ප්‍රතිසංස්කරණ දර්ශනය නව පරපුර වෙත සමීප කිරීම මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අපේක්ෂාවකි.

• ඉන්දු–ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම ‘මෛත්‍රී සේතු’ ව්‍යාපෘතියේ අරමුණයි

උත්සව සභාව අමතමින්, සිය පිළිගැනීමේ කතාවේදී, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති සහ ව්‍යාපෘතියේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ‘මෛත්‍රී සේතු’ ව්‍යාපෘතියේ අරමුණු හා පරමාර්ථ පැහැදිලි කළේ ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික යුගයේ සිට ගොඩනැඟුණු බෞද්ධ සබඳතා වර්තමානයේදී වඩාත් ප්‍රායෝගික සහයෝගීතාවක් බවට පත් කිරීමේ අවශ්‍යතාව එතුමා විසින් අවධාරණය කළේ ය.

බෞද්ධ දර්ශනය, අධ්‍යාපනය, සංස්කෘතිය සහ ශාස්ත්‍රීය දැනුම හුවමාරු කරගැනීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම අනගාරික ධර්මපාලතුමාගේ හා ආචාර්ය බී. ආර්. අම්බේඩ්කාර්තුමාගේ දර්ශන තුළින් වර්තමාන තරුණ පරපුරට ලබාගත හැකි ප්‍රායෝගික ආදර්ශ පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය.

දෙරට අතර පවතින සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්තර්ජාතික මට්ටමේ මිත්‍රත්වයක් හා සහයෝගීතාවක් ගොඩනැඟීමේ වැදගත්කම ද එතුමා තවදුරටත් පෙන්වා දුන්නේ ය.

• ඉන්දු–ශ්‍රී ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ඉන්දීය මහ කොමසාරිස්වරයා අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිදුන් සිය අදහස් දැක්වීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ බෞද්ධ උරුමය මත පදනම් වූ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේ ය.

දෙරට අතර පවතින ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙවැනි ව්‍යාපෘතියකට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බව ඒ මහතාගේ අදහස් දැක්වීම තුළින් පැහැදිලි විය.

එසේම එතුමා විසින් ඉන්දියානු රජයෙන් ඩොලර් මිලියන පහළොවක මුදලක් ශ්‍රී ලාංකීය විහාරස්ථාන ප්‍රතිසංස්කරණය උදෙසා ලබා දුන් බවත්, එපරිද්දෙන්ම, ඉදිරියේදී අනුරාධපුර පූජාභූමිය සංවර්ධනය කර බෞද්ධ බැතිමතුන්ට පහසුවෙන් වන්දනා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයට ආධාර කරන බවත් එතුමා පැවසී ය.

‘මෛත්‍රී සේතු’ ව්‍යාපෘතිය ඉන්දු–ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරටේ බෞද්ධ ජනතාව අතර අන්‍යෝන්‍ය මිත්‍රාවබෝධය වර්ධනය කිරීමටත් සුවිශේෂී වේදිකාවක් වනු ඇතැයි ඔහු පැවසීය.

• බෞද්ධ උරුමය නඟාසිටුවීමට මෙවැනි ව්‍යාපෘති වැදගත් – අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිදුන් අදහස් දක්වමින් ‘මෛත්‍රී සේතු’ ව්‍යාපෘතිය කාලෝචිත හා අද්විතීය සංකල්පයක් මත ගොඩනැඟුණු ව්‍යාපෘතියක් බව සඳහන් කළේ ය.

බෞද්ධ දර්ශනයේ වටිනාකම් සමාජය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සහ බුදුදහම හා බෞද්ධ උරුමය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවැනි උදාර ප්‍රයත්නයන්හි අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කළේ ය.

එවැනි සංකල්ප තවදුරටත් ගොඩනැඟීම සහ ඒවා සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය සහයෝගය ලබාදීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

• අධ්‍යාපනය සහ සමාජ ප්‍රගතිය වෙනුවෙන් අම්බේඩ්කාර් දර්ශනයේ වැදගත්කම

ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය ජෝති වග්මෙයර් මැතිණිය සිය අදහස් දැක්වීමේදී අධ්‍යාපනයේ, දර්ශනයේ සහ සමාජ ප්‍රගතියේ වැදගත්කම අවධාරණය කළා ය.

ආචාර්ය බී. ආර්. අම්බේඩ්කාර්තුමාගේ අධ්‍යාපනික හා සමාජ ප්‍රතිසංස්කරණවලින් ලැබුණු ආභාසය පිළිබඳව සඳහන් කළ ඇය, එම දර්ශනය තම අධ්‍යාපනික හා වෘත්තීය ගමන්මඟට ලබාදුන් අභිප්‍රේරණය පිළිබඳව ද අදහස් දැක්වූවා ය. ‘මෛත්‍රී සේතු’ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද එතුමිය ප්‍රකාශ කළා ය.

එමෙන්ම ඉන්දීය මහාරාශ්ත්‍ර රජයේ මහාමාත්‍ය ශ්‍රී ඒක්නාත් ශින්ඩේ මැතිඳුන්ගෙන් ශ්‍රී සම්බුද්ධශාසනය රැකබලාගෙන ධර්මය ප්‍රවර්ධනය කිරීමට ලබාදෙන සහයෝගය සහ ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ශ්‍රීකාන්ත් ශින්ඩේ මැතිඳුන්ගෙන් බෞද්ධ අධ්‍යාපනය නගා සිටු වීමට දක්වන සහය සහ දැඩි කැපවීමට එතුමිය සිය ස්තූතිය පළකරන ලදී.

එමෙන්ම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ජනතාව හුදු අසල්වැසියන් පමණක් නොව එකම පවුලක සාමාජිකයින් බවත් එතුමාය සඳහන් කලාය.

• බියගම ප්‍රදේශයට ජාත්‍යන්තර වටිනාකමක් එක් කරන ව්‍යාපෘතියක් – පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල මැතිදුන් උත්සව සභාව අමතමින් ඉන්දු–ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා දායක වන මෙම ව්‍යාපෘතියට එතුමා විසින් කෘතඥපූර්වක ස්තූතිය ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා වෙත පළ කළේය.

ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් බියගම ප්‍රදේශයට නව වටිනාකමක් සහ සංවර්ධන අවස්ථා උදාකරගැනීමට මෙවැනි ව්‍යාපෘති දායක වන බවත් දෙරටේ ජනතාවට යහපත සැලසෙන ධනාත්මක සංකල්ප හා වැඩසටහන් ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ද එතුමා අවධාරණය කළේ ය.

එමෙන්ම මෙම උතුම් කටයුත්ත සාර්ථක කරගැනීමට දායකත්වය දක්වන මහාරාශ්ට්‍රයේ සංඝරතන හිමියන්ට, සංඝ බුඩිස්ට් පදනමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ශ්‍රීකාන්ත් ශින්ඩේ මැතිඳුන්ට සිය ස්තූතිය පළ කලේය.

• ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් කෘතඥතාව පළ කෙරේ

උත්සවයේ අවසන් අදහස් දැක්වීම සිදු කරමින් Sangha Buddhist Foundation හි නිර්මාතෘ සංඝරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබාදෙන ඉන්දීය හා ශ්‍රී ලංකා රජයන් වෙත සිය කෘතඥතාව පළ කළහ.

විශේෂයෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ශ්‍රීකාන්ත් ෂින්දේ මහතා ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාදුන් ආශීර්වාදය උන්වහන්සේගේ ඇගයීමට ලක්විය.

එමෙන්ම මෙම මහඟු කර්තව්‍යය වෙනුවන් භූමි පූජාව සිදුකල පූජ්‍ය බලංගොඩ සීලරතන හිමියන්ටත්, පසුගිය සති කීපය පුරා දිවා රෑ නොබලා මෙම උත්සවය සාර්ථක කර ගැනීමට කැපවුන බෞද්ධ සහෝදරත්ව පදනමේ සාමාජික සාමාජිකාවන්ටත්, විහාරස්ථාන දායක සභාවටත් සිය කෘතඥතාවය සහ පුණ්‍යානුමෝදනාව පිරිනැමීය.

එමෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය සහ කළ්‍යාණ මිත්‍රත්වය පදනම් කරගනිමින් දෙරටේ ජනතාවට සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව උන්වහන්සේ පෙන්වා දුන් අතර එය සියලු දෙනා එක්ව යතාර්ථයක් බවට පත්කල යුතු බවද අවධාරනය කලේය.

• මහා පරිත්‍රාන සජ්ඣායනය

උත්සවය අවසානයේ මහා සංඝ රත්නය විසින් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට අනුග්‍රහය දැක්වූ සියලු දෙනාට සෙත් පතමින් පිරිත් පිරිත් දේශනා කලහ.

• අනාගත පරපුර වෙනුවෙන් ගොඩනැඟෙන සංස්කෘතික පාලමක්.

‘මෛත්‍රී සේතු’ අන්තර්ජාතික අධ්‍යාපන හා සංස්කෘතික සංකීර්ණය යනු හුදෙක් භෞතික ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිකිරීමකට සීමා නොවන ව්‍යාපෘතියකි. එය ඉන්දු–ශ්‍රී ලංකා මිත්‍රත්වය, සාමකාමී සහජීවනය, අන්‍යෝන්‍ය අවබෝධය සහ අධ්‍යාපනික සහයෝගීතාව අනාගත පරපුර වෙත ගෙන යාමේ දිගුකාලීන ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකිය.

බෞද්ධ උරුමය සංරක්ෂණය කිරීම, ශාස්ත්‍රීය පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරු පුළුල් කිරීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ පුළුල් අරමුණු අතර වේ.

ඉතිහාසයෙන් උරුම වූ බෞද්ධ මිත්‍රත්වය වර්තමානයේ ප්‍රායෝගික සහයෝගීතාවක් බවට පත් කරමින්, අනාගත පරපුර වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් ‘මෛත්‍රී සේතු’ ව්‍යාපෘතිය ඉදිරියට ගමන් කරයි.

‘මෛත්‍රී සේතු’ — බෞද්ධ උරුමයෙන් බැඳුණු මිත්‍රත්වය, වර්තමානයේ ගොඩනැඟෙන සහයෝගීතාව සහ අනාගත පරපුර වෙනුවෙන් නිර්මාණය වන සංස්කෘතික පාලමකි.

You might also like
en English▼
X
X