Temples of Sri Lanka

ධර්මය කල් ඉකුත් වන්නේ නෑ

තුන් ලෝකය වෙත පතල මෙත් සිතින් භව ඳුරු දුරු කළ ඒ මහා ප්‍රාඥ ඇස නිවී ගිය කල්හි මුළු මහත් ලෝක ධාතුව ම කම්පා වුණා .බලවත්ව කම්පා වුණා.ඒ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඇති වූ අඩුව වනාහි පිරවිය නොහැක්කක්.. ඒ වාගෙමයි ආදේශක නොමැත්තක්…

 

එසේ මහා කාරුණික ප්‍රඥා ඇස නිවී ගිය ද ඒ සම්බුදු මුව මඩලින් ගලා ආ මහා කරුණා මෛත්‍රී ප්‍රවාහය සිඳී ගියේ නැහැ.

ඒ නිසාමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සම්බුද්ධ ශාසනය බොල් වූයේ හෝ වඳ බැස ගත්තේ නැහැ .

උතුම් ශ්‍රී සම් බුද්ධ වචන ගංගාව විරාජමාන ව තිලෝ සත වෙත සෙත සලසා දෙන්නට වූයෙන්, ඒ දහම් කාය මනාකොට දුටුවෝ සම්බුද්ධ කාය ද දැක ගත්තා. ඒ සියල්ලෝම සම්බුදුරජාණන් වහන්සේගේ හදින් උපන් දරුවන් බවට පත්වුණා .

යමෙක් ධර්මය දකින්නේ ද මා දකින්නේ ලෙස ශාස්තෘන් වහන්සේ වදාළ දෙය ඔවුන් සාක්ෂාත් කළා..

සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ යුගයේ සේ සේම එයින් සියවසක් දෙකක් ඉක්ම ගිය යුගයේත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සිය පනස් අටක් ඉක්ම යන මේ යුගයේදී ද සියලූ ලෝක සත්වයන් අත්විදින්නේ ජාති ජරා ව්‍යාධි මරණ යන ස්වර්ණ කාලීන පොදු දුකක් .

එදා මෙන්ම අදත් ඒ පොදු දුකෙන් නිදහස් වන්නට නම් අනුගමනය කළ යුත්තේ එකම මාර්ගයක්…

එනම් අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනින් පෙරුම් පුරමින් ඝෝර සසරේ පැමිණෙන අප, මහා බෝසතාණන් වහන්සේ සර්වඥතා ඥානය උපදවා ගනු වස් අනුගමනය කළ සුගත වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි…

සම්බුදු රජාණන් වහන්සේ වදාළේ මාගේ ශ්‍රාවකයන් මේ ධර්ම විනය අනුව ම පිළිපදින්නේ නම් සම්බුද්ධ ශාසනය රහතන් වහන්සේලාගෙන් හිස් නොවන්නේය යන්නයි.

අකාලික වූ තථාගත ධර්මය විනය දැනුදු නිර්මලව ජීවමානව වැඩ වෙසෙනවා. එය එසේ වූ කල්හි මේ සම්බුද්ධ ශාසනය රහතන් වහන්සේලා ඇතුළු මගඵල ලාභී උතුමන්ගෙන් කෙසේ නම් හිස් වන්නද….

මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබිය හැකි සන්දිට්ඨික ගුණයෙන් යුතු ඒ අකාලික මුනි දහම අදටත් අප හමුවේ විවරව පවතින්නේ ගෞතම සම්මා සම්බුද්ධ රාජ්‍යය තුලදීම උතුම් පිරිසක් සලසා ගැනීමට භාග්‍යය අපට හිමිකර දෙමින් …

සියලු දුක් නිමා කරමින් තෙර තරණය කරනු වස් පරම දුර්ලභ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් යළි පහළ වනතුරු බලා සිටින්නට තරම් අප ප්‍රමාද වී නැහැ.

යලි කිසිදු කලෙක දුගතියක නොවැටෙන්නටත් සසර දුකින් මිදී හිඳින්නටත් පුහුණු කළ යුතුව ඇති ධර්ම දායාදය අපට හිමිවුණා.

යන එන මං නොදැන සසරේ පමා වෙමින් වෙනත් සම්බුද්ධ ශාසනයක් ලොව පහළ වන තුරු අනතුර අත්දකිමින් සිටිනු වෙනුවට, දැන් දැන්ම වෑයම් කරමින් මේ ලද අති දුර්ලභ සම්පත්තියෙන් ඵල නෙළා ගන්නට අප අදිටන් කරගත යුතුයි.

මේ ගෞතම සම්බුද්ධරාජ්‍ය තුළදීම අපට සියලු සසර දුක් නිමා කළ හැකි මේ ලාභය ගිලිහෙන්නට පෙර අප එය කළ යුතුයි .

කෙලෙස් කහට සෝදාහැරියා සේ මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යය තුළ දීම අප්‍රමාදයේ විජයඝෝෂ නගන්නට අප සියලු දෙනාටම භාග්‍ය උදාවේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X