Temples of Sri Lanka

දානය සහ ශීලය, ප්‍රඥා ඇස විවර කරවයි…

මඩ වලින් ගවසා ගත් කිළිටි වී ගිය ජල පොකුණක ඉතාමත්ම ඉතාමත්ම ගැඹුරු පතුළේ වටිනා මාණික්‍යක් තිබේ. එය ලබා ගන්නට නම් පළමුව කළ යුත්තේ වතුර පිරිසිදු කර ගැනීමයි..

අපේ සිතද මෙපරිද්දෙනි. නිවන යනු පතුළේ ඇති මැණිකයි. රාග, ද්වේෂ, මෝහ කෙලෙස් වලින් සිත ආවරණය වී ඇත. පලමුව කළ යුත්තේ සිත පිරිසිදු කර ගැනීමයි..

කාලයක් පුරා… දවසක් නොව.. මාසයක් නොව… වසරක් නොව… වසර කෝටි ප්‍රකෝටි ගණනක්ද නොව… මිනිස් මනසට සිතා ගැනීමට පවා නොහැකි කාලයක පටන් මේ සිත කෙලෙස් වලින් කිළිටි වී ඇත..
ඉතින් පතුලේ ඇති මැණික දවසකින් දෙකකින් දිස් නොවේ.. එය ඉවසීමෙන් කාලයක් පුරා ක්‍රමානුකූලව පිරිසිදු කළ යුතුය.. ඒ සඳහා එකම පිළිවෙත ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.. කෙටියෙන් කියනවානම් ශීල-සමාධි-ප්‍රඥා මාවතයි..

ඔබේ අරමුණ නිවන නම් ඔබ පළමුව කළ යුත්තේ සිත ටිකෙන් ටික පිරිසිදු කර ගැනීමයි.. තව කෙනෙක් සමඟ සැසඳීම නිෂ්ඵලය. එක එක් අයගේ කෙලෙස් ප්‍රමාණය වෙනස්ය. එය බුදු කෙනෙකුට හැර ඔබට නිර්ණය කළ නොහැක. ඔබ කළ යුත්තේ මාර්ගය පිළිපැඳීමය.. අඛණ්ඩව.. මැණික පෙනෙන තෙක්..විමස විමසා බලා..

කෙසේද සිත පිරිසිදු කරගන්නේ..?

පළමුව ඔබ දත යුතුයි මේ මේ කෙලෙස් වලින් මගේ සිත දූෂිත වී ඇති බව.. ඒ සඳහා පළමුවෙන්ම අවශ්‍ය වන්නේ තමා තමන්ට අවංක වීමය.. අප බොහෝ දෙනෙක් ජීවත් වන්නේ ලෝකයට පේන්නය.. තමන්ගේ නුගුණ ලෝකයට නොපෙන්නුවාට කම් නැත. නමුත් ඔබ ඔබටම අවංක වන්න.. නැත්නම් නිවන අහිමිය..

ලෝභය ඔබේ සිතේ කල්ප ගණනක් පුරා පැළපදියම් වී ඇත.. පළමුවෙන්ම එය නැති කරගන්නට, අවංක උත්සාහයක් දැරිය යුතුය. ඒ සඳහා දානය පුරුදු කරන්න.. හැකි සෑම විටම සෑම දෙයම අනුන්ට දන් දෙන්න.. යමක් දීමට “බැහැ” යන සිත මතුවෙත් නම් එයම දන් දෙන්න..
ඔබට රුපියල් 1000ක් ඇතිවිට රුපියල් 10ක් දන් දීමට වඩා ඔබට රුපියල් 100 ක් ඇති විට 10 ක් දන්දීම තුළින් ඔබේ සිතේ ඇතිවන අතහැරීම වැඩිය.. ඔබ සිතිය යුත්තේ ලැබෙන පින නොව, තමන්ගේ සිතේ ඇතිවන අතහැරීමය.. ඔබ ආශ්‍රය කරන්න ලෝබ කමක් නොමැතිව දන් දෙන අයම.. තිරිසන් සත්වයාගේ පටන්, හිඟන්නන්, ඇති නැති සියල්ලන්ටම… ස්වාමින් වහන්සේලාට… බුදු රජාණන් වහන්සේට… සියල්ලන්ටම දන් දෙන්න…

ඔබ කැමති දේම දන් දෙන්න..සතුටු සිතින්ම දන් දෙන්න.. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන, මිල මුදල්, දැනුම…
එකී මෙකී නොකී සෑම දෙයම දන් දෙන්න.. තමන්ගේ සිතේ ලෝබය පරාජය කරමින්ම දන් දෙන්න.. තමන්ට පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවීම දන් දෙන්න..
පෙරලා එකම එක වචනයක්වත්.. එකම එක සිනහවක්වත්.. එකම එක හැරී බැලීමක්වත් බලාපොරොත්තු නොවී… අත් හරිමින්ම දන් දෙන්න.. අප දුන් දෙයට ඒ අය කරන්නේ කුමක්ද කියා දෙවරක් නොසිතාම දන් දෙන්න… ලේ දන් දෙන්න.. වකුගඩු දන් දෙන්න.. ඇස් දන් දෙන්න… හිස් කෙස් දන් දෙන්න… ඔබට වටිනා දෙයම දන් දෙන්න… බෝධි සත්වයන් දන් දුන්නේ යම් සේද.. එයම පුරුදු කරමියි සිතා දන් දෙන්න.

බෝධිසත්වයන් අඟ පසඟ, දරුවන් බිරිඳ දන් දෙනවිට… ඇස් ගලව ගලවා දන් දෙනවිට… රජ කිරුළු දන් දෙන විට…හිස් කපා දන් දෙනවිට… අතපය කප කපා දන් දෙන විට.. ඇතකුව ඉපිද දළ දෙක ලේ ගලායනවිටම කපා ගන්නට ඉඩ දෙමින් ඉවස්මින් වැතිර සිටිනා විට… වඳුරකුව ඉපිද තමන් මරණයට පමුණුවන්නට උත්සාහ කරන්නට තරම් සැහැසි වූ වැද්දාට ලේ ගලන දැතින් යුතුව අත්තෙන් අත්තට පණිමින් කැලයෙන් එතෙර වන්නට මාර්ගය පෙන්වන විට…

ආපසු එකම එක වචනයක වත් කෙලෙහි ගුණයක් බලාපොරොත්තු නොවී අත් හරින්ම-අත් හරිමින්ම දන් දුන්නේ යම් සේද…
පෙරලා පැමිණි බැනුම් අපවාද ඉවස ඉවසා දන් දුන්නේ යම් සේද .. පෙරලා පැමිණි ප්‍රසංසා කීර්ති අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවතලමින් දන් දුන්නේ යම් සේද …
එපරිද්දෙන්ම දන් දෙන්න…
ජීවිතය ගියත් දන් දෙන්න..
අත්හරින සිතකින්ම දන් දෙන්න..
ලබන්නාගේ සතුට දැක දැක මුදිතාව වඩවා ගනිමින්ම දන් දෙන්න..

ඔබගේ සිත ශක්තිමත් වන අයුරු අත්දකින්න.. සෑම දෙයක්ම දන් දෙනවා යනු සෑම දෙයක්ම අත් හරින්නට හැකිය යනු යි.. ඒ සිත වඩවමින්ම දන් දෙන්න..

දිනපතා දන් දෙන්න..
අතට ගත් බත් පිඬ දන් දෙන්න..
අද කාටද දන් දෙන්නේ යැයි විමස විමසා දන් දෙන්න..
රහසේ දන් දෙන්න…
කීර්තිය ප්‍රශංසාව වෙස් වලා පැමිණෙන මාර සේනාවක් සේ දකිමින් දන් දෙන්න..

දානයේ විපාකය කෙතෙක් ද…
දස බිම්බරක් මාර සේනාවක් අහස පොලොව දෙබෑ කරමින්, දෙවියන් බඹුන් පළවා හරිමින් පැමිණෙද්දි….
ඒ සා බලයක් ආපස්සට හැරවූයේ මාගේ බෝධිසත්වයන් වෙස්සන්තර භවයේ පමණක් දුන් දානය මෙනෙහි කරමිනි..
මහ පොළොව කුඹල් සකක් සේ නොනවත්වා කම්පිත වූයේ වෙස්සන්තර භවයේ පමණක් දුන් දානයේ බලයටයි.. මහ පොළොව සසල කරවන්නට තරම් බලයක් දානය සතුය..
අපමණ බලයක් ශක්තියක් දානය සතුය.. ඒ බැව් නුවණින් දකිමින්ම දන් දෙන්න..

දානය පුරුදු කරන ඔබට ශීලයට මාර්ගය… ප්‍රඥාවට මාර්ගය එය තුළින්ම විවර වනු නො අනුමානය…

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X