බුදු දහම ගිහි ජීවිතය සාර්ථක කරගැනීමට මහා ශක්තියක්..
අපේ ජීවිතයේ ලෞකික මෙන්ම ආධ්‍යාත්මික දියුණුව උදෙසා අත්‍යවශ්‍ය වන ප්‍රධානතම සාධකය “වීර්යය” හෙවත් නොපසුබට උත්සාහයයි. බුදුදහමේ ත්‍රිපිටක පෙළ, අටුවා සහ ටීකා ග්රන්ථවලට අනුව මෙය හුදු කායික වෙහෙසක් පමණක් නොව, කම්පනය නොවන අප්‍රතිහත මානසික ශක්තියකි.
සාර්ථකත්වය හඹා යන ඕනෑම කෙනෙකුට මේ ධර්ම කරුණු ටික මහඟු අත්වැලකි. ගරා වැටෙන පැරණි ගෙයකට මුක්කුවක් ගසා දරා සිටින්නාක් මෙන්, තමන් ආරම්භ කළ යහපත් කාර්යයන් කඩා වැටීමට නොදී දරා සිටීම වීර්යයේ ස්වභාවයයි. ගිහියෙකු සාර්ථකත්වයේ මුදුනටම යන්නේ මෙයිනි!
තමන්ගේ දියුණුව තමන්ගේම දෑතේ බව පෙන්වන් අත්තකාර සූත්‍රයේ පෙන්වන වීර්යයේ අවස්ථා 6
බොහෝ දෙනෙක් “සියල්ල දෛවය අනුව හෝ කර්මය අනුව සිදුවේ” යැයි සිතා උත්සාහය අත්හරිති. එහෙත් අංගුත්තර නිකායේ **අත්තකාර සූත්‍රයේදී** බුදුරජාණන් වහන්සේ එම මතය සම්පූර්ණයෙන්ම බැහැර කළ සේක. තමන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ තමන්ගේම ක්‍රියාකාරීත්වය (පුරිසකාරය/අත්තකාරය) මත බව පෙන්වා දුන් උන්වහන්සේ, සාර්ථකත්වයට පදනම් වන වීර්යයෙහි ප්‍රධාන අවස්ථා 6ක් (ධාතු 6ක්) පෙන්වා දී ඇත. ත්‍රිපිටකයට සහ අටුවාවලට අනුව මෙම පියවර 6 අනුගමනය කිරීමෙන් ජයගත නොහැකි ඉලක්කයක් නොමැත:
1. **ආරබ්භ ධාතුව (ආරම්භ කිරීමේ ශක්තිය):**
කිසියම් යහපත් කටයුත්තක් හෝ ව්‍යාපාරයක් සැලසුම් කර, පමා නොවී එහි පළමු පියවර තැබීම.
2. **නික්ඛම ධාතුව (අලසකමින් මිදීමේ ශක්තිය):**
කම්මැලිකම, නිදිමත සහ පසුබෑම පරදවා, සුවපහසුවෙන් මිදී ක්‍රියාශීලී වීම.
3. **පරක්කම ධාතුව (බාධක මැඩගෙන ඉදිරියට යාම):** කාර්යය කරගෙන යාමේදී කොතරම් බාධක පැමිණියත්, නොනැවතී ධෛර්යයෙන් යුතුව පෙරටම යාම.
4. **ථාම ධාතුව (නොසැලෙන මානසික ශක්තිය):**
ගැටලු හමුවේ කම්පනයට පත් නොවන, පසුබට නොවන මානසික ස්ථාවරත්වය සහ දැඩිකම.
5. **ඨිති ධාතුව (අඛණ්ඩව පවත්වා ගැනීමේ ශක්තිය):** ආරම්භ කළ කාර්යය අතරමඟ අත් නොහැර, අවසාන ප්‍රතිඵලය ලැබෙන තුරුම එය අඛණ්ඩව කරගෙන යාම.
6. **උපක්කම ධාතුව (උපායශීලී වීර්යය):**
හුදු වෙහෙසීම පමණක් නොව, කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය බුද්ධිමත් උපායමාර්ග භාවිත කරමින් කැපවීම.
විනාශයට මුල
ඔබත් මෙසේ නිදහසට කරුණු කියනවාද?
**සිඟාලෝවාද සූත්‍රයේදී** බුදුරජාණන් වහන්සේ අපගේ දියුණුව විනාශ කරන ‘කම්මැලිකමේ’ නිදහසට කරුණු 6ක් පෙන්වා දෙනවා. සාර්ථක වන මිනිසා කිසිදිනක මේ දේවල් පවසන්නේ නැහැ:
* සීතල වැඩියයි වැඩ නොකිරීම.
* රස්නය වැඩි යැයි වැඩ නොකිරීම.
* හවස් වී වැඩි යයි වැඩ නොකිරීම.
* උදෑසන වැඩියයි වැඩ නොකිරීම.
* බඩගිනි වැඩියයි වැඩ නොකිරීම.
* ආහාර ගෙන බඩ පිරී වැඩියයි වැඩ නොකිරීම.
මෙවැනි නිදහසට කරුණු කියමින් වැඩ කල් දමන පුද්ගලයාගේ ධනය දිනෙන් දින විනාශ වී යන බවත්, අලුතින් ධනයක් ඉපයීමට නොහැකි වන බවත් එහි දැක්වේ.
සාර්ථකත්වයේ පදනම
ව්යග්ඝපජ්ජ සූත්‍රයේ පෙන්වන දියුණුවේ රහස් 4
කම්මැලිකම් දුරු කර ගිහි ජීවිතය දිනන්නට නම්, මේ කරුණු 4 අනුගමනය කළ යුතුම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක:
1. **උට්ඨාන සම්පදා (උත්සාහ සම්පත්තිය / නැගී සිටින වීර්යය):**
තමා කරන රැකියාව, ව්‍යාපාරය හෝ අධ්‍යාපනය තුළ අලස නොවී උපාය කෞශල්‍යයෙන් යුක්ත විය යුතුය. පැවරුණු කාර්ය මනාව කිරීමට සමත් විය යුතුය. දක්ෂ විය යුතුය.
2. **ආරක්ඛ සම්පදා (ආරක්ෂා සම්පත්තිය):** උට්ඨාන වීර්යයෙන් සහ ඩාදිය වගුරුවා බාහු බලයෙන් දැහැමින් උපයා ගත් ධනය සොරුන්ගෙන්, රජුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන් හෝ නරක පුරුදු (සුරාසූදුව) වලින් විනාශ වීමට නොදී රැක ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත යුතුය.
3. **කල්‍යාණ මිත්තතා:** ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා සම්පන්න යමෙක් වේ නම් ඔවුන් ඇසුරු කරයි, සාකච්ඡා කරයි, සල්ලාපයේ යෙදෙයි. එසේ ඇසුරු කරමින් ඔවුන්ගේ ගුණ අනුව හික්මෙයි.
4. **සමජීවිකතා:**
තම ආදායමට සරිලන සේ වියදම් කරමින් සමබර ජීවන රටාවක් පවත්වා ගැනීම. තමන්ගේ වියදම ඉක්මවා ආදායම පවතින බවත්, වියදම ආදායම ඉක්මවා නොයන බවත් ජීවිකාව පවත්වාගත යුතුය (ආදායමට වඩා වියදම වැඩි කර ණය වීමත්, මහත් වූ ආදායම් ඇතිව වියදම් නොකර මසුරු වීමත් දෙකම නුසුදුසුය).
සතර සම්‍යක් ප්‍රධාන වීර්යය (පෞරුෂ වර්ධනයට)
මෙය ගිහි අපගේ ආධ්‍යාත්මික සහ සමාජීය දියුණුවට එකසේ වැදගත් වේ. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ජීවිත සාර්ථකත්වයට මෙසේ ගලපා ගනිමු.
* **නූපන් අකුසල් නූපදවීමට වීර්යය කරයි:**
නීති විරෝධී, සමාජ විරෝධී දේවල් කිරීමෙන් වැලකී සිත කය වචනය සංවර කර ගැනීමට වීර්යය කරයි.
* **උපන් අකුසල් දුරු කිරීමට වීර්යය කරයි:**
දැනටමත් තමා අතින් සිදුවන වැරදි ක්‍රියාවන්ගෙන් අත්මිදීමට වීර්ය කරයි.
* **නූපන් කුසල් උපදවා ගැනීමට වීර්යය කරයි:** තමා තුළ නොමැති යහපත් පුරුදු, ගුණධර්ම අලුතින් ඇති කර ගැනීමට වීර්යය කරයි.
* **උපන් කුසල් දියුණු කිරීමට වීර්ය කරයි:** දැනටමත් තමන් සතු යහපත් පුරුදු, ගුණධර්ම තවදුරටත් වර්ධනය කර ගැනීමට වීර්යය කරයි.
අවසාන ප්‍රතිඵලය වශයෙන්…
ධම්මපදයේ අප්පමාද වග්ගයට අනුව *”උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ”* (නැගී සිටින වීර්යය ඇත්තාගේ, සිහියෙන් ද, විමසිල්ලෙන් ද යුතුව පිරිසිදු කටයුතු කරන්නාගේ) යසස සහ කීර්තිය දිනෙන් දින සඳක් මෙන් වැඩේ.
සාර්ථකත්වයේ ප්‍රධාන පදනමක් වන **වීර්යය ** අප තුළ ගොඩනඟා ගනිමින්, නිදහසට කරුණු දැක්වීම පසෙක ලා, අරමුණ ජයගන්නා තෙක් උත්සාහ කරමු!
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු.
© Buddhist Brotherhood