Temples of Sri Lanka

බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති සිය ඡන්ම දිනය සමරයි!

ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනමෙහි ගරු සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ ජන්ම දිනය 2023 නොවැම්බර් 04වන දිනට යෙදී තිබූ අතර මෙවර එහි සැමරුම වඩාත් සුවිශේෂී ආකාරයකට සැමරීමට එතුමාට හැකි විය. ඒ කොළඹ, කොටහේනේ පිහිටි ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධර්මශාලාව විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවේ දී ධර්මශාලාව තුළ මහා සංඝරත්නයේ සෙත්, පිරිත් ආශිර්වාද මධ්‍යයේ ආගමික වතාවත් ඉටුකොට, කේක් කපා සැමරීමෙනි. එය එක්තරා ආකාරයකට ඓතිහාසික අවස්ථාවකි. මන්ද, ධර්මශාලාව තුළ සමරන්නට යෙදුනු ප්‍රථම ජන්ම දිනය ද වන බැවිනි. එමෙන් ම රැස්ව සිටි ගිහි, පැවිදි විශාල පිරිසකගේ ආශිර්වාද ලබන්නට ද ඒ මහතා පුණ්‍යවන්ත විය. මේ අවස්ථාවට එතුමාගේ මෑණියන් වන මාලතී මංගලිකා වනිගසේකර මැතිණියත්, ආචාර්ය ශර්මිලා මිල්රෝයි එම මැතිණියත්, පුතු දෙව්නක පෝරගේ සහ බෞද්ධ සහෝදරත්ව පදනමේ කාර්ය මණ්ඩලයත් සහභාගී වූහ.

අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනාහිමියන් විහාරාධිපති ධූරය හොබවන ශ්‍රී ඉසිපතනාරාමයේ ඉදිකරන්නට යෙදුනු මෙම ධර්මශාලාව විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට අතිපූජ්‍ය   ආචාර්ය වස්කඩුවේ  මහින්දවංශ මහනායක හිමි,  ජේ‍යෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කන්දේගොඩ විමලධම්ම මහනායක හිමි, , අතිපූජ්‍ය මහාචාර්ය  පල්ලෙකන්දේ රතනසාර මහනායක හිමි, අතිපූජ්‍ය කිතලගම හේමසාර අනුනායක හිමි  ප්‍රමුඛ මහා සංඝරත්නය 50නමක් පමණ වැඩම කළහ. එමෙන්ම කතෝලික, හින්දු, මුස්ලිම් ආදී අන්‍ය ආගමික නායකයෝ ද සහභාගී වූහ. එමෙන් ම ගිහි පාර්ශවය වෙනුවෙන් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා, අමරපුර නිකායේ ගිහි සභාපති අජිත ද සොයිසා මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

මෙම ධර්මශාලාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයේදී තවත් සුවිශේෂී පුණ්‍යකර්ම රාශියක් ද සිදු කරන්නට යෙදුනි. එනම්, වැඩම කළ පැවිදි හා අන්‍ය ආගමික පූජ්‍ය පක්ෂයට ද ගිහි පිරිසට ද දානය පිරිනැමීමත්, අතිපූජ්‍ය කොලොන්නාවේ සුමංගල හිමියන්ගෙ පින්බර සුරතින් ඉසිපතනාරාමයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු චෛත්‍යයේ කොත් කැරැල්ල නිරාවරණය කිරීමත්, නාවික හමුදාවේ රියර් අද්මිරාල් දේශමාන්‍ය ජයන්ත කුලරත්න මහතා විසින් කඨින චීවරය මහා සංඝරත්නයට පූජා කිරීමත් ය.

ජන්ම දිනයට පෙරද එතුමන් විශාල පුණ්‍යකර්ම කිහිපයක් කිරීමට දායක විය. ඒ අනුව නොවැම්බර් මස 02වන දින හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගම්වාසීන් 200 කට අධික ප්‍රමාණයක් සඳහා පිසූ ආහාරපාන ලබා දීම සහ අඩු ආදායම්ලාභී පවුල් රාශියක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය තොගයන් ද එතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් බෙදා හරින ලදී.

එපමණක් නොව, ජන්ම දිනයට සතියකට පෙර එතුමන් සිදු කළ ඓතිහාසික මහා පුණ්‍යකර්මය සමස්ත දෙස් විදෙස් බොදු ජනයාගේ නෙත් පහන් කරවන සුළුය. එනම් පසුගිය ඔක්තෝබර් මස 24 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරයක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් වෙත වැඩම කරවීමයි. අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ ආශිර්වාදයෙන් බෝධි අංකුරය නාෂික් හි Buddha’s Mark නම් පුණ්‍ය භූමියේ අති උත්සවාකාරයෙන් රෝපණය කරන ලද්දේ ඉන්දු – ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්වයට මහත් ආශිර්වාදයක් වෙමිනි.

එමෙන්ම ඉන් පෙර ද එතුමන් තවත් ඓතිහාසික පුණ්‍යකර්මයක් සංවිධානය කිරීමට දායක විය. එනම්,ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කිරීමේ උත්සවය වෙනුවෙන් යෙදුණු මංගල ගුවන් ගමනේදී වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ වැඩ වාසය කරන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ සිට කුෂිනගර් වෙත වැඩම කරවා සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආශිර්වාදය නව ගුවන් තොටුපොළට ද ලබා ගැනීමට ඉඩ සැලැස්වීමයි. මෙවන් ඓතිහාසික වූ ද, විවිධ බෞද්ධ සම්ප්‍රදායන්හි සහයෝගය හා සමගිය උදෙසා විවිධ කටයුතු සිදු කරන ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා මෙලෙස ඉන්දු – ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්වය ඇති කිරීමට කැප වන්නේ දශක ගණනාවක සිටම ය. ඊට අවශ්‍ය ධෛර්යය, ශක්තිය, ජවය, රාජතාන්ත්‍රික ඥානය නිසඟ ව පිහිටා ඇති මනා පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයෙක් ලෙස එතුමන් හැඳින්විය හැකිය.

මෙවන් මහඟු පුණ්‍යකර්ම අවස්ථාවක දී තම ජන්ම දිනය සමරන්නට වරම් ලද ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ යුතු මනා ය. පාසල් යන අවධියේ දී ම සුබසාධන සහ ශාසනික කටයුතු වලට මහත් ලැඳියාවක් දැක්වූ එතුමා ඊ. ඩබ්. අදිකාරම් මහතාගේ ව්‍යාපාරය සමඟ එක්ව පාසල් දරුවන් නිර්මාංශ ආහාරයට හුරු කරලීමටත් මතින් මුදවා ගැනීමටත් කැපවී වැඩ කළ තරුණ ක්‍රියාකාරිකයෙකු විය.කොළඹ වෙස්ලි හා ඉසිපතන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලද ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ද පශ්චාත් උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ද, ආචාර්ය උපාධිය ඇමරිකාවේ ලින්ඩන් ස්ටේට් විශ්වවිද්‍යාලය මඟින් ද ලබා ගන්නා ලදී.  ගුරුවරයෙක් ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ  කළ එතුමා පාසල් සහ විශ්වවිද්‍යාල කිහිපයක ගිහි පැවිදි සිසුන්ගේ නැණ නුවණ පාදා යහපත් අනාගතයකට මංපෙත් විවර කළ අතර  වෘත්තිය දිවිය තුළ දී පවා ශාසනික සහ සමාජ සුබසාධන කටයුතු වලට නිසඟ සහය දැක්වීය. නව දිල්ලියේ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ  සමාරම්භක සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව එහි ආරම්භක සාමාජිකයෙක් බවට පත් විය. එතුමා එහි විධායක කමිටුවට ද 2013 පත් වූ අතර 2017 සිට මේ වනතෙක් එහි නියෝජ්‍ය මහලේඛකාධිකාරී ධූරය හොබවයි.

එමෙන් ම 2011 වර්ෂයේදී බුදුසසුන ලොව පුරා පැතිර වීමේ අරමුණින් බෞද්ධ සහෝදරත්ව පදනම ඇරඹු එතුමා 2015 වර්ෂයේදී ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා වහන්සේ හමුවීමට ද භාග්‍යය ලද අතර එම වසරේ දී ම ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනම ද  පිහිටුවන ලදී.

එමෙන්ම ලංකාවේ ඉදිවෙන ලොව පළමු පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ නිර්මාතෘ වන්නේ ද එතුමා ය. ශුද්ධෝත්තම 14වන දලයි ලාමා වහන්සේ, මොංගෝලියාවේ අතිඋතුම් කම්බොලාමා වහන්සේ, ලංකාවේ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ආදී දෙස් විදෙස් බෞද්ධ නායකයන් අතර ජනාදරයට පත් එතුමන් මෙලෙස බෞද්ධ සමාජයට පහල වූ පින්කෙතක් ලෙස හැඳින්විය හැකිය.

එමෙන්ම එදින හවස් වරුවේ තවත් සුවිශේෂි පුණ්‍ය කර්මයක් එතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. එය සංවිධානය කර තිබුණේ කපිලවස්තුපුර නිසැක සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහනාහිමියන් විහාරාධිපතීත්වය දරන වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ දී උන්වහන්සේ ප්‍රමුඛ දායක සභාව විසින් ය. එහිදී ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාව මෙත් සිතින් පිළිගත් විහාරාධිපති මහනාහිමියන් දුලබව අයෙකුට වැඳ පුදාගැනීමට අවසර ලැබෙන නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා දීමට ද කටයුතු කළ සේක. ආගමික වතාවත්වලින් අනතුරුව උන්වහන්සේ විහාරස්ථාන ධර්මශාලාවේ දරුවන් හා දෙමව්පියන් 200 කට අධික පිරිසක් රැස්කොට ඔවුන්ට හරවත් දෙසුමක් පිණිස ආචාර්යතුමන්ට ආරාධනා කළ සේක.

එහිදී එතුමන් දරුවන් හා දෙමව්පියන් අමතමින් සත්ගුණවත් දරුවන් සමාජයට ඉදිරිපත් කරන්නේ කෙසේද යන්නත් එහිලෙ දෙමව්පියන්ගේ කාර්යභාරයත්, කුඩා කළ සිට ම පවුල තුළින් දරුවාට ලැබෙන පදනමත් පිළිබඳව හරබර දේශනයක් සිදු කළේය. එය පැමිණ සිටි සියල්ලෝගේම සිත් පහන් කරවීමට සමත් විය.

එමෙන් ම මෙම අවස්ථාවේදී විහාරාධිපති වස්කඩුවේ මහින්දවංශ මහනාහිමියන් ද එතුමන් හා එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වන බිරිඳ ආචාර්ය ශර්මිලා මිල්රෝයි මැතිණිය ද, පුත් දෙව්නක පෝරගේ මහතා ද පිළිබඳ ප්‍රශංසාත්මක වදනින් වදාළේ සත්ගුණවත් දරුවෙකු බිහිකිරීමට මීට වඩා උදාහරණැති මවක් හා පියෙක් නොමැති බවයි.

එමෙන් ම එතුමන්ගෙන් ශාසනයට වන මාහැඟි කාර්යයන් ද, දෙස් විදෙස් හි එතුමන්ට හිමි ඉහළ සමාජ පිළිගැනීම ද උන්වහන්සේ නැවතත් සිහිපත් කළ සේක.

මෙම අවස්ථාවේ දී ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කිරීම පිණිස දියමන්ති එබ්බවූ රනින් කළ අගනා කරඬුවක් ද ධාතූන් වහන්සේ වෙනුවෙන් පූජා කරන ලදී.

අනතුරුව විහාරාධිපති හිමියන් එතුමන්ගේ ජන්ම දානය පිණිස කේක් කැපීමක් ද තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කර තිබූ අතර එය සැමගේ සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ සිදු කරන්නට යෙදුණි.

එතුමන් 100 කට අධික බෞද්ධ සම්මන්ත්‍රණ මාලා, ගිහි පැවිදි ශිෂ්‍යයන් හට විදෙස් ශිෂ්‍යත්ව, භික්ෂු අධ්‍යාපනය, ශිෂ්‍යාධාර, එමෙන්ම බොදු ජනයා උදෙසා පින්කම් රාශියක් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පවා සිදු කර ඇත. සිය ධනය, ශ්‍රමය කැප කරමින් බෞද්ධයෙකුගෙන් සමාජයට විය යුතු සේවය මනාව ඉෂ්ට කරන ආචාර්ය දමෙන්ද පෝරගෙ මැතිතුමන්ට තව තවත් බොදු කෙත අස්වද්දන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා!

බෞද්ධ සහෝදරත්ව පදනම

සහෝදරත්වයෙන් එක්වෙමු!

©Buddhist Brotherhood

You might also like
en English
X
X