ජීවිත රෝදය වූ සංසාර චක්‍රය…
බෞද්ධ දහමේ ඉපදීම–මරණය (සංසාර චක්‍රය) පැහැදිලි කරන්නේ ගැඹුරුත්, තාර්කිකත් ආකාරයකටයි. පහත පියවරෙන්-පියවර පැහැදිලි කරමි.
1. සංසාරය කියන්නේ මොනවාද?
සංසාරය කියන්නේ
👉 අවිද්‍යාවෙන් (නොදැනුමෙන්) හා තණ්හාවෙන් (ආසාවෙන්)
👉 නැවත නැවත ඉපදීම, වයසට යාම, රෝගී වීම, මරණයට පත්වීම
👉 දුක් විඳීමෙන් පිරි
👉 අනන්ත චක්‍රයක්.
බුදු රජාණන් වහන්සේ කියාසිටින්නේ:
“අනමාතග්ගෝයං සංසාරෝ”
— මේ සංසාරයට ආරම්භයක් සොයාගත නොහැක.
අපි කවදා සිට මෙහි වැටී තිබෙනවාද කියලා කියන්න බැහැ.
2. ඉපදීම–මරණය සිදුවෙන්නේ ඇයි?
බුදු දහමට අනුව,
👉 කිසිම දෙයක් හේතුවක් නැතිව සිදුවෙන්නේ නැහැ.
ඉපදීමේ මූලික හේතු 3ක්:
අවිද්‍යාව – සත්‍යය නොදැනීම
තණ්හාව – ලෝභය, ආසාව, ඇලීම
කර්මය – කරුණු සහිත ක්‍රියාව
3. පටිච්චසමුප්පාදය – සංසාර චක්‍රයේ මූලික විස්තරය
බුදු රජාණන් වහන්සේ ඉපදීම-මරණය “පටිච්චසමුප්පාදය” නමින් පැහැදිලි කළා.
සරලව කිව්වොත්:
මේ තියෙන නිසා, ඒක තියෙනවා
මේ නැති වුණොත්, ඒකත් නැති වෙනවා
ප්‍රධාන දොළොස් පියවර:
අවිද්‍යාව (නොදැනුම)
සංඛාර (කර්ම සංකල්ප)
විඤ්ඤාණ (චිත්ත ප්‍රවාහය)
නාම-රූප
සළායතන
ස්පර්ශ
වේදනා
තණ්හා
උපාදාන (දැඩි ඇලීම)
භව (ඉපදීමේ හැකියාව)
ජාති (ඉපදීම)
ජරා–මරණ (වයසට යාම, මරණය, දුක)
👉 මෙය අවසන් වෙන්නේ නැවත අවිද්‍යාවට යන නිසා චක්‍රය හැරෙයි.
4. “ආත්මය” යන දෙයක් නැද්ද?
බුදු දහමට අනුව:
ස්ථාවර, සදාකාලික “ආත්මයක්” නැහැ
තියෙන්නේ හේතු–ප්‍රතිඵල අනුව ගලා යන චිත්ත ප්‍රවාහයක්
උදාහරණයක්:
එක් ඉටිපන්දමකින් තවත් එකක් දැල්වෙනවා
පළමු එකත් නෑ, දෙවන එකත් ඒකම නෑ
නමුත් සම්බන්ධයක් තියෙනවා
ඒ වගේමයි ඉපදීමත්.
5. කර්මය සහ නැවත ඉපදීම
👉 කර්මය කියන්නේ ඉච්ඡාවෙන් කරන ක්‍රියාව.
හොඳ කර්ම → සුවදායක ඉපදීම
නරක කර්ම → දුක්දායක ඉපදීම
නමුත්,
කර්මය = නියත භවය නෑ
බුදු දහම කියන්නේ වෙනස් කළ හැකි දෙයක් කියලා.
6. මේ චක්‍රයෙන් මිදෙන්නේ කොහොමද?
👉 හේතුව නැති කළොත් ප්‍රතිඵලයත් නැති වෙනවා.
ඉතින්,
අවිද්‍යාව නැති කළොත්
තණ්හාව නිරෝධ කළොත්
උපාදානය අත්හැරියොත්
👉 නිබ්බානය – ඉපදීමත් මරණයත් අවසන් වීම
බුදු රජාණන් වහන්සේ කියාසිටියේ:
“ඉදං දුක්ඛං… ඉදං දුක්ඛ නිරෝධය”
— මේ දුකයි, මේ දුක නැති වන මඟයි
ඒ මඟ තමයි අරිය අට්ඨාංගික මාර්ගය.
7. සරල සාරාංශයක්
ඉපදීම–මරණය දෙවියන් විසින් නිර්මාණය කළ දේක් නෙමෙයි
ඒක හේතු–ප්‍රතිඵල චක්‍රයක්
අවිද්‍යාව + තණ්හා + කර්මය = සංසාරය
ප්‍රඥාව + සිල + සමාධි = නිදහස
සසර දුකට හේතුව
සමස්ත විශ්ව ප්‍රජාවට දුක් නැති කිරීමේ ඒකායන මාර්ගය හෙළිකර වදාළ ශාස්තෲන් වහන්සේ ලෙස ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ අති ශ්‍රේෂ්ඨ වන සේක. එහිලා ඇති ඉතා වැදගත් සාධකය නම් බුදුරජාණන් වහන්සේ හෙළි කර වදාළ විමුක්තිය හා එයට පිවිසෙන මග කිසිවකු හට ප්‍රතික්‍ෂේප නොකළ හැකි අයුරින් යථාර්ථවාදීව ඉදිරිපත් කොට තිබීම ය. එහි අනුමානයක් හෝ තර්ක විතර්කයක් නැත. බුද්ධි ගෝචරය. නැණවතුනට වහා වැටහෙන සුළුය.
විමුක්තිය සඳහා බුදුරජාණන් වහන්සේ අනුගමනය කළයුතු මන්ද? උන්වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ කවර සත්‍යයක්ද? බුදු දහම පෙන්වන අයුරු දුකෙන් මිදීම හා සැනසිල්ල කවරේද? යන ප්‍රශ්න විසඳාගත යුතුව ඇත. බුදුරජාණන් වහන්සේ පළමු කොට පස්වග තවුසන්හට දෙසූ “ධම්මචක්ක පවත්තන සූත්‍ර ධර්මය” මේ ප්‍රශ්න සියල්ල විසඳා දෙයි. නැණවතුන් වූ පස්වග තවුසෝ මෙම ගැඹුරු දහම අවබෝධ කර ගත්හ.
මේ දුක් සමූහය හටගැනීමට හේතු වන එක් ශක්තියක් ඇත. එය සර්ව බලධාරී දෙවියකු බඹකු විසින් නිර්මාණය කරන්නක් නොවේ. ලොව උපත ලබන සියලු සත්හට ජන්මයෙන්ම උරුම වූ දුක් ගොඩක් ඇත. එයට හේතුව විශ්ව සිද්ධාන්තයක් වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයට අනුව ඔවුන් භවයෙහි සැරිසරන බැවිනි. භවයට ඇල්ම බැඳීම හේතුවෙන් මේ දුක්ගොඩ (දුක්ඛකන්ධය) දිගින් දිගටම පවතී. මෙය ලොව ඇති පරම සත්‍යයක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. මෙම දුක් සියල්ල සත්ව ප්‍රජාවට ඇති වන්නේ, ඔවුන් සතු ස්කන්ධ පඤ්චකය (පඤ්චස්කන්ධය) හේතු කොට ගෙන ය. “සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” සංක්ෂේප වශයෙන් පස් කඳම දුකය යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
මෙම දුක් රැස පුද්ගලයන් විසින් භවයේදීම රැස්කර ගන්නා වූ කුසලාකුසල කර්මය නැතහොත් චේතනා ය. පටිච්ච සමුප්පාදයේ දී මේවාට සංඛාර (සංස්කාර) යන වදන ව්‍යවහාර වෙයි. ජීවිතයක් තුළින් මෙම කුසල් අකුසල් සංඛාර උත්පාදනයට සිත, කය, වචනය යන දොරටු තුනක් හේතු වෙයි.ඒ අනුව මෙම සංඛ්‍යාර කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර යැයි ත්‍රිවිධාකාර වෙති. කුසල් අකුසල් අනුව සයාකාර වෙති. මේවාට චේතනා යැයි ද හැඳින්වෙයි. “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යන්නෙන් මහණෙනි, මම සත්ත්වයන් තුළ පහළ වන්නා වූ කුසල් අකුසල්, චේතනාව කර්ම යයි දේශනා කරමි. ධම්මපද පාලියේ දී යමක වග්ගයේ පළමු දෙවන ගාථාවල කුසල් අකුසල් විවරණයේ දී “ධම්ම” යන වදන මෙම කර්ම පද්ධතියට ව්‍යවහාර කොට ඇත. එසේ නම් ඒ ඒ භවයට අයත් නාම රූප ස්කන්ධ නිර්මාණය කොට සත්ත්වයා ගේ පැවැත්මත් දුකත් සැපත් උදාකර දෙන්නේ, චේතනා නැතහොත් සංඛාරය. මේවා ඇතිවීමට අවස්ථානුකූලව (කුසල අකුසල කර්ම) ඇදීමක් බැඳීමක් තිබිය යුතු ය. එය “තණ්හාව“ නමින් දම්සක් පැවතුම් සූත්‍රයේදී හඳුන්වා ඇත. එය භවයේ සැරි සරන සත්වයාට දුක් උදාකර දෙන මහා බලවේගයයි. නැතහොත් දුක් ඇති කරන්නා වූ “සමුදය සත්‍යයයි” බුදුරජාණන් වහන්සේ විසින් සර්වඥතා ඥානයෙන් එය අවබෝධ කොට ලොවට දෙසූහ.
සමුදය සත්‍යයත්, එහි ලක්‍ෂණයත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ මෙසේ ය. ඉදං බෝ පන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්චං යායං තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දනී සෙය්‍යථීදං කාමතණ්හා , භව තණ්හා, විභව තණ්හා, මහණෙනි දුක්ඛ සමුදය වූ තණ්හාව පුනර්භවය ඇති කරන, ඒ ඒ භවයන්ට ඇලුම් කරන ගතියෙන් යුතු ය. එය මෙසේ කොටස් තුනකට බෙදෙයි එනම්,
1. කාම තණ්හා
2.භව තණ්හා
3. විභව තණ්හා යනුවෙනි.
ලොව වෙසෙන සත්ව ප්‍රජාවට භය දුක් විපත්
උදාකර දෙන්නේ, තණ්හාව ය. ඒ වග
“තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජයාතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං” යනුවෙන් දක්වා ඇත.
තණ්හාව හේතු කොට සෝකය හා භය උදාවෙයි. ඉන් මිදුනු ආර්යයනට භයක් හෝ සෝකයක් හෝ නැත. එහෙයින් බෞද්ධ දර්ශනයේ විමුක්ති පදනම තණ්හාවෙන් මිදීම ය. නිර්වාණය අර්ථ කථනය කොට ඇත්තේ, “තණ්හක්ඛයෝ නිබ්බාණං” ‘තෘෂ්ණාවෙන් මිදීම නිර්වාණය’ යන්නෙනි.
දැන් මෙහිදී අප විසින් වටහා ගතයුතු වන්නේ කාම රූප, අරූප යන භවත්‍රයෙහි මිනිස් දෙවි, බඹ යන ප්‍රජාවගේ භවය නිර්මාණයට හා පීඩනයට පත්වීමට තණ්හාව නමැති භව මූල බීජය හේතුවන වග ය. එය ඛණ්ඩණය කොට ප්‍රහීණ කිරීමෙහිලා ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවෙන් සමන්විත මෙම මාර්ගය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නාමයෙන් හැඳින්වෙයි. බෞද්ධ පිළිවෙත් අනුව මෝක්ෂය අරබයා සම්පූර්ණ කරනු ලබන පිළිවෙත් සියල්ල මෙම මාර්ගයට අයත් වෙයි. එයින් කෙරෙන්නේ අනුපූර්ව ප්‍රතිපදාවක් ලෙසින් තණ්හාවෙන් උත්පාදනය කරන සකල කෙළෙස් මළ ප්‍රහීණ කර දැමීම ය.
“අනුපුබ්බේන මේධාවී ථෝක ථෝකංඛණේ ඛණේ කම්මාරෝ රජතස්සේව නිද්ධ මේ මළමත්තනෝ” නැණවතා, අනුපිළිවෙළින්, ටිකින් ටික මළකඩ හරින රන් කරුවා මෙන් ඇතුළත කෙළෙස් මළ නැති කර දමයි. මෙයින් නිර්දිෂ්ට වන්නේ තණ්හාව හැර මෝක්ෂය ලබා ගන්නා අයුරු ය.
මෙහි දැක්වෙන ත්‍රිවිධ තෘෂ්ණාව පිළිබඳ මැනැවින් දැනීමට උත්සාහ කිරීම බෞද්ධ දර්ශනයෙන් මෝක්ෂය ලැබීමේ පිළිවෙතයි. “කාම” යනු කැමැත්ත, රුචිය යන අර්ථ නිරූපණය කරන වදනකි. ෂඩීන්ද්‍රියයන්ට ගෝචර වන, අරමුණු වන, සුඛ, ළපේක්ඛා (මධ්‍යම) යන වේදනා ආශ්වාද කිරීමට ඇති රුචියයි. දුක්ඛාන්ත වේදනා විඳීමට කිසිවෙක් ැරචි නොකරති. දිව්‍ය ලෝක සය, සතර අපාය හා මනු ලොව බොහෝ වශයෙන් කාම අරමුණු ඇත. ඒවායෙහි ඇති සුඛ වින්දන රුචි ලෙස වින්දනය කිරීම, පඤ්ච කාම සම්පත් විඳීම යන්නෙන් ව්‍යවහාර වෙයි. ඒ සම්පත් කෙරෙහි අන්තයට යමින්, ඇලී ගැලී විසීම, “කාම තණ්හා” නම් වෙයි.
බුද්ධ දේශනාවට අනුව කම් සැප අන්තග්‍රාහී නොවන පරිදි මැදුම් පිළිවෙතකින් විඳිය යුතු ය. පඤ්ච සීලයේ තෙවන සික පදයට ඇතුළත් කර ඇත්තේ ගිහියා නිවාරැදිව කම් සුව විඳිය යුතු ය යන්නයි. මෙය ගිහියා අනිවාර්යයෙන්ම ආරක්‍ෂා කළ යුතු සීලයකි. කාම ලෝකය දිවි නිමා කරන අයට සිත සකසා පාලනය නොවුණහොත් එහිදී රැස් කරගත් කුසල අකුසල කර්ම ඊළඟ භවය අල්ලා ගැනීමට ආධාර වන භවාංග චිත්තයට ද අරමුණු වෙයි. සිතක්; අරමුණක් නොමැතිව නූපදින්නේ ය. පසිඳුරන්ගෙන් අරමුණු නොගන්නා විටකදී පෙර භවයෙන් ඇති වූ භවාංග අරමුණෙහි සිත පවතී. අප නිද්‍රාවට පිවිසුණු කල්හි සිත පවතින්නේ ද එතැන ය. නවීන ලොව ‘යටිසිත’ නමින් හඳුන්වන්නේ මෙම භවාංග සිතම බව මෙහිදී වටහාගත යුතු ය.
සත්වයන් තමන් සිටින ජීවිතක්ෂේත්‍රයට අලුම් කිරීම, භව තණ්හාවයි. එය වැනසී යෑමට බාධක එද්දී පැනදිවීම් ආදී කටයුතු කරන්නේ, භවයට ඇති ඇල්ම නිසා ය. භව තණ්හාව කුඩා කුහුඹුවාගේ සිට සියලු ලොකු කුඩා සත්ව සන්තතියටම සාධාරණ වූවකි. එහෙයින් පර පණ නැසීම, අන් අයගේ ජීවිත පැහැර ගැනීමකි. මිනිසා සමඟ මෙය සසඳන කල්හි, මානව අයිතියක් උල්ලංඝනය කිරීමකි. භවය ස්ථාවර එකකි යන දැඩි සිතින් කටයුතු කිරීම බෞද්ධ දර්ශනයට පටහැනි ය. මේ තණ්හාව මැදුම් පිළිවෙතින්ම ප්‍රහීණ කළ යුතු ය.
ලබා ඇති භවයට වැඩියෙන් නිදහස හා සුවය ඇති නොසැලෙන සදාකාලික ස්වර්ගලොවක් මඤ්ඤනා කිරීම (කල්පනා කිරීම) ප්‍රාර්ථනා කිරීම, විභව තණ්හාවයි. ථේරවාදී දර්ශනය මත මෙම තෘෂ්ණාව, භාවනාවෙන් සිත වැඩූ යෝගීන්ට ද ඇතිවිය හැකි ය. සමථ භාවනා දියුණු කළ ඔවුන්ට සිතෙහි පාරිශුද්ධිය මත පෙරවිසූ ජීවිත ආවර්ජනය කළ හැකි ය. එම ශක්තිය “පුබ්බේ නිවාසානුස්සති ඤාණය” නම් වෙයි. තමා ගත කළ ජීවිත වැලක් මෙන් භාවනාවට සම වැදී දැකිය හැකි බැවින් මෙතැන දී යෝගියා ඥාන විපර්යාසයෙන් මෙය පරම ;මීක්‍ෂය ශාන්ත සුවය සේ කල්පනා කරයි. එයට තෘෂ්ණාව නමින් ව්‍යවහාර වෙයි. මෙය ප්‍රහීණ නොකිරීම සසර ගමන දිගුවන හේතුවක් බව පස්වග තවුසන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.
මෙහිදී දත යුතු දෙයක් ඇත. එනම් බෞද්ධ භාවනා ක්‍රමය කෙළෙස් ප්‍රහාණය පරමාර්ථ කොට ඇති වගය. බෞද්ධ දර්ශනයෙහි සඳහන් කෙළෙස් නැසීමේ ඤාණය (ආසවක්ඛය ඤාණය) විපස්සනාවෙන් ඇතිකරගත යුතු වග ය. විපස්සනා නම් සංඛාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් බලා නුවණැස ඇතිකර ගැනීම ය. බෞද්ධ භාවනා ක්‍රමයේ අනන්‍යතාව ඇත්තේ මෙතැන වග, ආත්මලාභීන්ගේ බසට මුළා වී සිටින විමුක්තිකාමීන්, විසින් අවබෝධ කටයුතු ය. සියලු දුකට හේතු වූ ත්‍රිවිධ තෘෂ්ණාව ප්‍රහීණ කරගැනීම, ශාන්ත වූ නිවනට හේතු වෙයි.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood