Temples of Sri Lanka

“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

සමථ විපස්සනා නමින් හැඳින්වෙන භාවනාවේ තේරුම සැපවත් ජීවිතයක් හදාගෙන එම නිරාමිස ධර්ම සැපය අන්‍යයන්ටත් බෙදාදීමේ ශාන්ත සේවයකි. සිත නන් අරමුණෙහි විසිරී යන හේතු සමනය කරමින් නීවරණාදී උපක්ලේශ යටපත් කරමින් එක් අරමුණක පිහිටා සිටීමේ සමත් බව නම් වූ ධ්‍යාන පහළ කරගැනීම සමථ භාවනාවය.

සම්මුතිය බිඳ පරමාර්ථ අරමුණෙහි පිහිටා නාමරූප ස්කන්ධ ආයතනාදීන් කෙරෙහි වූ අනිත්‍යාදී ස්වභාව ලක්ෂණ පොදු ලක්ෂණ තත් වූ පරිදි අවබෝධ කරමින් නිවන් මඟට පිළිපැදීම විපස්සනා භාවනාවය. සමථ විපස්සනා භාවනාවන් නිරාකූලව හා නිරවශේෂ ව ඉදිරිපත් කරනු ලබන්නේ විසුද්ධි මාර්ගය නම් ග්‍රන්ථයෙහිය.

බුදුගුණ, මෛත්‍රීය, අසුභ හා මරණ සති නම් වූ මේ සතර කමටහන් අතුරෙන්,

බුදුගුණ වැඩීමේදී බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට ජීවමානව වැඩ හිඳින ආකාරය සිතින් අරමුණු කොට බුදු ගුණ භාවනාව වැඩිය යුතු වේ.

මෛත්‍රිය වැඩීමේ දී වනාහි තමාය, හිතවතාය, මැදවතාය හා අහිතවතාය යන සතර දෙනා අතුරෙන් අරමුණු කරනු ලබන්නා තමා ඉදිරිපිට සිටින ආකාරය සිතින් බලමින් ම මෛත්‍රිය වැඩිය යුතුය.

අසුභ භාවනාව හෙවත් කායගතාසතිය වැඩීමේදී කේශාදී එක එක කොටසෙහි පාට, සටහන, දිශාව, පිහිටි තැන හා පරිච්ඡේදය හෙවත් ඉම ගැන දැන දැන කායගතාසතිය වැඩිය යුතුය.

මරණසතිය වැඩීමේදී සති, සංවේග ඥාන පිහි‍ටුවාගෙන අනිත්‍යතාව සිතට නගා මරණසතිය වැඩිය යුතුය.

ආනාපාන සතිය වැඩීමේදී වනාහි සතිය මනාසේ පිහි‍ටුවා ගත යුතු වේ.

භාවනා පූර්වකෘත්‍යය වනාහි වේලාවේ පමණින් කෙටියෙන් හෝ සවිස්තරව හෝ සම්පූර්ණ කොට ම භාවනා පටන්ගත යුතුය. මේ සෑම භාවනාවක දී ම සති සම්පජඤ්ඤය පැවැත්වීම භාවනාව සාර්ථක වීමට අතිශයින් උපකාරි වේ.

සර්වඥයන් වහන්සේ ගැන ගෞරවය සහිත විශ්වාසය අධික වීම, ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියයන් බලවත් බවට පැමිණීම, නුවණ අවදිවීම, ප්‍රීති සොම්නස් බහුල වීම, බිය තැති ගැනීම් නැතිවීම, ඉතා සතුටින් සියලු දුක් ඉවසීමේ ශක්තිය, සර්වඥයන් වහන්සේ සමඟ එකතැන වෙසෙන සිත ඇතිවීම, එනිසාම වරදකට නොනැමීම, හිරි ඔතප් අධිකව වඩාත් සිල්වත් වීම, ධාතු ගර්භයක් සේ පූජනීයත්වයට පත්වීම, බුදුබව සඳහා සිත නැමීමාදී අනන්ත ආනිසංස බුදුගුණ භාවනා වඩන්නාට අත් වේ.

මෛත්‍රිය භාවනාවෙන් වනාහි සුවසේ නින්ද යාම, සුවසේ අවදිවීම, නපුරු සිහින නොපෙනීම, දෙවියන්ට ප්‍රියවීම, මනුෂ්‍යයන්ට ප්‍රියවීම, දෙවියන්ගේ ආරක්ෂාව සැලසීම, ගිනි අවි වලින් හානියක් නොවීම හා වස විස ශරීරගත නොවීම, වහා සිත සමාධිගත වීම, මුහුණ පැහැපත් වීම, මරණාසන්නයේදී සිහි නුවණ එළඹ සිටීම, මතු සුගතිපරායනවීමාදි අනන්ත අපරිමාණ අනුසස් ලැබෙන්නේ අසිරිමත් ලෙසිනි.

කායගතාසති – අසුභ භාවනාවෙන් වනාහි පාපයෙන් වැළකීම, පිනෙහි නොපමාවීම, පස්කම් සැපට ගිජු නොවීම, බිය තැති ගැනීම් නැතිවීම, සියලු දුක් ඉවසීමේ සමත් බව, දිව්‍ය සමාන කාම වස්තුවකවත් නො ඇලීම, ලද පමණින් සතු‍ටු වීම, රහතන් වහන්සේ නමක් සේ සංවර බව, භවයෙහි පමා වීමට නොකැමැත්ත හා සසර ගමනේදී සුගතිගාමී වීම ආදී අප්‍රමාණ ආනිසංස ලැබෙනුයේ නික්ලේශී ජීවිත වාසනාව උදා කරමිනි.

මරණසති භාවනාවෙන් වනාහි කුශල් පිලිවෙත් පිරීමේ නොපමාව, භවයෙහි නො ඇලීම, පාපයට ගැරහීම, අනිත්‍ය ලක්ෂණය නිතර වැටහීම, ජීවිත ආශාව තුනී වීම, බිය තැතිගැනීම් නැතිවීම, අද කළයුතු දේ හෙටට කල්නොදැමීම, දැහැමින් ජීවත් වීම, මරණාසන්නයේදී එළඹසිටි සිහිනුවණින් යුක්ත වීම, සුගති පරායන වීම, විදර්ශනාවට පහසුවෙන්ම පාදකවීම ආදී අනේක අනුසස් ගෙනදෙනුයේ සීලාදි උතුම් ගුණ අඛණ්ඩව පිරීමේ ශක්තිය ද ලබා දෙමිනි.

ආනාපානසතියෙන් වනාහි ස්මෘති සමාධි ප්‍රඥාවන් විසාරද බවට තියුණු බවට පැමිණේ. කය සිත සැහැල්ලු බවට පැමිණේ. නිරෝගී බවත්, සන්සිඳුණු තැන්පත් බවත් පිහිටයි. ප්‍රීතිය සෝමනස්සය නිතරම එළඹ සිටී. ධාරණ ශක්තිය ඇති වේ. ප්‍රතිභාන කෞශල්‍යය හෙවත් වහා වැටහීමේ නුවණ පහළ වේ. ධීර වීර උදාර අධ්‍යාශය ඇති වේ. බුද්ධත්වයට ද පාදක වන්නා වූ ආනාපාන සතිය අතිශයින් ශාන්ත භාවනාවකි. අනේක අපරිමාණ අනුසස් ද ඇති වේ.

නිදුක් නීරෝගී සුවපත්, ජීවිත වාසනාව උදා කොට තමන් ලැබූ ධර්ම සැපයෙන් අන් අයද සුවපත් බවට පමුණුවනු පිණිස වැඩි වැඩියෙන් භාවනා වඩත්වා! නිවැරදි ගුරූපදේශ මත පිහිටා භාවනා අනුසස් ලබත්වා! මේ භාවනාවන් භාවිතා කරන සැමට බුදුගුණ බල මහිමයෙන් භාවනා පිළිවෙත සාර්ථක වේවා! සත්ප්‍රාය වේවා! ගෝචර වේවා! අසම්මෝහ වේවා! සුවසේ අමා මහ නිවන් සුව අත් වේවා!

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X